හරිනි අමරසූරිය අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු වලට මොකද කරන්නේ?

ආණ්ඩුව පොරොන්දු ඉටු නොකළොත් ගුරු විදුහල්පතිවරු තීරණයක් ගන්නවා… 

ආණ්ඩුව වසර ගණනාවක් තිස්සේ පවතින අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීම නිසියාකාරව සිදු නොකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි. ඊයේ (19) ලංකා ගුරු සංගම් මූලස්ථානයේ  ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

ලංකාවේ අධ්‍යාපනය පරිපාලනය කරන, අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව 1200කට වඩා වැඩි වී ඇත. මෙවැනි පුරප්පාඩු බොහෝ සංඛ්‍යාවක් තිබියදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඉදිරියට යන්නේ කෙසේද යන්න ගැටළුවක් බව ජෝශප් ස්ටාලින් සඳහන් කරන ලදී. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, කලාප කාර්යාලවල, කොට්ටාශ කාර්යාල වල මෙම අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරීන් සේවය කරයි.

2021.07.16 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් පරිපාලන සේවයේ පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට ගැසට් කර ඇති නමුත් තවමත් ඒ අය බඳවාගෙන නොමැති බව ස්ටාලින් මහතා සඳහන් කරයි. මේ සඳහා මේ වනවිට ඒ සඳහා වසර 4කට ආසන්න කාලයක් ගත වී ඇත.

අධ්‍යාපන පරිපාලන සේවයේ බඳවාගැනීම් වලදී කණ්ඩායම් 3ක් සිටින අතර සීමිත කාණ්ඩය යටතේ දැනට පාසල් වල සේවය කරන ගුරුවරු සහ විදුහල්පතිවරු, විවෘත තරඟ විභාගය කාණ්ඩය යටතේ වයස අවුරුදු 32ට අඩු උපාධිධාරීන් සහ ජ්‍යෙෂ්ඨතාවය සහ කුසලතාවය මත යන කාණ්ඩය යටතේ පද්ධතියේ සිටින විදුහල්පතිවරු අවුරුදු 55ට වැඩි අය ද බඳවා ගනී.

මෙම සීමිත තරග විභාගයෙන් බඳවා ගන්නා අය සඳහා 2023 සැප්තැම්බර් මාසයේ විභාගය පවත්වා ඇති අතර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ 2024 වසරේදී පවත්වා ඇතත් මේ වන තෙක් ඔවුන් බඳවාගෙන නොමැති බව ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා.

 සීමිත තරඟ විභාගයට එන්නේ පද්ධතියේ සිටින ගුරු විදුහල්පති වරුන් ය. ඔවුන්ට පත් වීම් ලබා දීම ප්‍රමාද කර විවෘත තරඟ විභාගයේ පිරිසට පත් වීම් දීමට ආණ්ඩුව සූදානම් වන බව ඔහු සඳහන් කරයි. එහිදී සිදු විය හැක්කේ සීමිත තරග විභාග කාණ්ඩයේ ගුරැ විදුහල්පති වරුන්ගේ ජ්‍යෙෂ්ටතාවය අවසන් වීමයි. පහුගිය කාලය පුරාවටම අධ්‍යාපන පද්ධතියේ පරිපාලන සේවයේ බඳවාගැනීම් වලදී දිගින් දිගටම විවෘත තරඟ විභාගය පවත්වා බඳවාගෙන ඇති අතර එමගින් සීමිත කාණ්ඩය යටතේ දැනට පාසල් වල සේවය කරන ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට අසාධාරණයක් වී ඇත. එසේම පද්ධතියේ සිට පැමිණෙන මේ පිරිසට  මෙම හේතුව නිසා තමන්ගේ උසස් වීම් සඳහා බරපතල බාධාවක් වී ඇති බව ලේකම්වරයා  පවසයි. විවෘත තරඟ විභාගයේ අයට ලබා දෙන පත්වීම වෙනුවට ජ්‍යෙෂ්ටතාවය සලකා විධිමත්ව බඳවා ගැනීමට  ලෙස කටයුතු කරන ලෙස ස්ටාලින් මහතා රජයට අවධාරණය කර සිටී. 2025 වසරටත් පුරප්පාඩු ඇති වී තිබෙන තත්ත්වයක් තුළ පවතින පුරප්පාඩු පිරවීම නොකරන තාක් අධ්‍යාපන පද්ධතියේ අඛණ්ඩව ඉදිරියට ගලා යාම සම්පුර්ණයෙන්ම අඩාල වන බව ඔහු පවසයි.

විවෘත තරඟ විභාගයෙන් තේරුණු අයට පත් වීම ලබා දීමට රාජ්‍ය සේවා කොමිසමෙන්ද මේ වන විට අනුමැතිය ලබාගෙන ඇති නමුත් 2021 වසරේ ගැසට් කළ පිරිසට පත් වීම් ලබා දීම සඳහා මෙතෙක් අනුමැතිය ලබා ගෙන නොමැත.

පසුගියදා මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡාවේදී ද පැහැදිළි කර, මේ සියළු දෙනා එකට බඳවා ගන්නා ලෙස ඉල්ලීම් කළ නමුත් එය නොසලකා හැර කටයුතු කර ඇති බව ස්ටාලින් මහතා සඳහන් කරයි. මේ සඳහා පිලියමක් දීම ආණ්ඩුවේ වගකීමක් වන අතර ඉල්ලීම් සහ පොරොන්දු ඉටු නොකර ආණ්ඩුව කටයුතු කරනවා නම් ගුරු විදුහල්පති සන්ධානය ලෙස ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේය.

Author

Related Posts