අනුරට අපහාස කළායැයි ගම්මන්පිලට එරෙහිව සාපරාධී අපහාස නීතිය ක්‍රියාත්මක කරයි!

තරිඳු උඩුවරගෙදර

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප්‍රකාශයක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහි අසත්‍ය, ද්වේශ සහගත හා ජනතාව කුපිත කරවන තොරතුරු අන්තර්ජාලයේ මුදා හැර ඇතැයි කියන සිදුවීමක් පිළිබඳ විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් ලබාගෙන තිබෙනවා.

ජුනි 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නියෝගය ලබාගෙන තිබුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතාගේ පැමිණිල්ලක් මත.

ඒ අනුව ජනාධිපතිවරයා පිළිබඳ කර ඇති ප්‍රකාශයක් පිළිබඳ අපරාධ විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මෙයට පදනම් වී තිබෙන්නේ ජර්මානු සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයා දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකයෙකු හමු වන බවට සමාජ මාධ්‍යවල සහ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සිදු කර ඇති ප්‍රකාශයක්.

එම ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පවසා තිබෙනවා. ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් එම ප්‍රකාශය සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබෙනවා.

මෙම නියෝගයට හේතු වී තිබුණු  උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවකදී කර ඇති ප්‍රකාශය මෙසේයි. ‘නෙදියවන් හම්බවුණා කියලා සමාජ මාධ්‍යවල පළ වුණා. ජර්මනියේ චාන්සලර්වරයා හමු නොවෙනවානම් මේ ගමන සැක සහිතයි. මේ කතාවේ ඇත්ත නැත්ත තමන් නොදන්න බවත්, ඇත්ත නැත්ත දන්න කෙනා විදියට රටට ඒ ගැන පැහැදිලි කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්.‘

මීට පෙර දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාස නීතිය හෙවත් කීර්තිනාමයට අපහාස කිරීම පිළිබඳ නීති පැවතුණ නමුත් 2002 දී සිදුකළ සංශෝධනයකින් එය ඉවත් කර තිබුණා.

එසේ සංශෝධනය කිරීමට පෙර, දණ්ඩ නීති සංග්‍රහයේ 479 වගන්තියේ සඳහන් සාපරාධී අපහාසය හෙවත් ‘කීර්ති හානි කිරීම’ යන වරද මෙසේ විස්තර කර තිබුණා.

‘කතා කරනු ලැබු වචනවලින් හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනවලින් හෝ සංඥාවලින් හෝ පෙනෙන නිරූපණයන්ගෙන් යම් තැනැත්තකු පිළිබඳ ආරෝපණය කිරීමකින් ඔහුගේ කීර්තියට හානියක් කරන අදහසින් හෝ කීර්තියට හානියක් වන බව දනිමින්ම හෝ එබන්දකින් එලෙස වන බව විශ්වාස කිරීමට කරුණු තිබියදී ඔහු සම්බන්ධයෙන් එවැනි ආරෝපණය කිරීමක් යමකු කළහොත් ඔහු ඉහත කී තැනැත්තාගේ කීර්ති හානි කළ ලෙස සලකනු ලැබේ.’

කෙසේ වෙතත්, මේ වන විට දණ්ඩ නීති සංග්‍රහයේ එම නීතිය ඇතුළත් වන්නේ නැහැ.

උදය ගම්මන්පිළ මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය හෝ රජුට අපහාස කිරීම පිළිබඳ වෙනත් පැරණි සහ ප්‍රතික්ෂේපිත නීතියක් යොදා ගන්නේදැයි තවම පැහැදිලි වී නැහැ. මීට අමතරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාවිච්චි කරන්නේද යන්නත් පැහැදිලි කර නැහැ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading