බය වෙන්න එපා… මාස 2 හමාරකට තෙල් තියෙනවා – නලින්ද ජයතිස්ස

ඉදිරි මාස දෙක හමාරක් සඳහා අවශ්‍ය කරන තෙල් තොග සංචිත රට තුළ තිබෙන බවට බලශක්ති අමාත්‍යංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් දැනුම් දී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඊයේ (17)  පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. 

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් වල බලපෑම නිසා ලංකාවේ තෙල් හිඟයක් මතුවීමේ අවදානමක් තිබේද යන්න පිළිබඳව කතා බහක් ඇති වී ඇත. සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තියක් නිසා සමහර ප්‍රදේශ වල ජනතාව කලබල වී අනවශ්‍ය ලෙස තෙල් පෝලිම් වල රැඳී සිට ඇති නමුත් එලෙස කිසිදු ආකාරයට අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බව අමාතයවරයා සඳහන් කළා.

බොර තෙල් මෙට්‍රික් ටොන් 60,000ක් දැනට ගබඩා කර ඇති බවත් තව සති දෙකකින් තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ලැබීමට නියමිත අතර දිගු කාලීන ගිවිසුම් යටතේ  තවත් බොරතෙල් නැව් 4ක් ඇනවුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

එසේම ඔක්ටේන් 92 මෙට්‍රික් ටොන් 246,200 ක් සහ ඔක්ටේන් 95 මෙට්‍රික් ටොන් 5000ක් ලංකා ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 193,250 ක් ලංකා සුපර් ඩීසල් මෙට්‍රික් ටොන්  10,500ක් ඇනවුම් ලැබෙමින් පවතින බවද අමාතයවරයා ප්‍රකාශ කරන ලදී.

එම නිසා කිසිවෙක් බිය විය යුතු නැති බවත් අනවශ්‍ය ලෙස තෙල් ගබඩා  කර ගත යුතු නොමැති අතර අවශ්‍ය තෙල් ප්‍රමාණය රජය සැපයීමට කටයතු කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී. 

මේ අතර ඊයේ  දින මේ සම්බන්ධව බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ශාන් මොහොමඩ් ගේ අත්සනින් යුතුව නිවේදනයක්ද නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේද තෙල් හිඟයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන  නොමග යවනසුළු ව්‍යාජ පුවත් වලට නොරැවටෙන ලෙසයි.  

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading