ඖෂධ හිඟය අවසන්!ප්‍රතිපල ලබන වසරේ-කැබිනට් ඇමති

2026 වසරේ සිට ඖෂධ හිඟය අවසන් වන්නේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (17) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.

තම ආණ්ඩුව කල දේවල ප්‍රතිපල ලබන වසරේ පැමිණෙන බව පැවසු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“ලුණු නැත්තන් හාල් නැත්තන් සති දෙකෙන් ගෙන්වන්න පුළුවන්. ඖෂධ හිඟයක් ආවොත් අපි වෙනුවෙන් කොහේවත් නිෂ්පාදනය කර නෑ. අපි ඇණවුම දුන්නට පස්සෙ නිෂ්පාදනය වෙන්නේ. ටෙන්ඩර් කරලා ඒක දින 42කින් අවසන් කරල ඖෂධයක් එන්න සාමාන්‍යයෙන් මාස 9ක් යනවා. මේ අවුරුද්දෙ එන ඖෂධ කියන්නෙ ගිය අවුරුද්දේ ටෙන්ඩර් කරපුවා. ඒවා ගිය අවුරුද්දෙ කරලා නෑ. ඒකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අපට. අපි සියලු ම ඇණවුම් අරන් එස්පීසී එකට ජනවාරි අග වෙද්දි භාර දුන්නා. පෙබරවාරි සිට රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කරන්න පටන් අරන් 268ක් ඉවර කරල තියෙනවා. ඇතැම් ඒවා ඕඩර් කරල තියෙන්නේ. 2022 දාපු සමහර ඕඩර්ස් තාම ඇවිත් නෑ. සමහර ඒවා එන්නෙ කවදද කියල අපට කියන්න බෑ.

මේ මාස හයේ හතේ අපි කරමින් ඉන්නෙ දේශීය නිෂ්පාදකයන් සමග සාකච්ඡා කරමින් නිෂ්පාදනය වැඩිකරගන්න බලනවා. ඇතැම් රජවල් සමග පරිත්‍යාග විදියට ගන්න බලනවා. හැබැයි ඒවා සීමිතයි. අපේ මධ්‍යම බෙහෙත් ගබඩාවේ බෆර් ස්ටොක් එකක් නෑ. ඒක තමයි මේ කරන්න හදන්නෙ. ඒක කරන්න වෙන්නේ රජයන් රජයන් අතර. ඒක කරන්න හදද්දී තමයි විපක්ෂ නායක කෑ ගහන්නේ. රටවල් 7කට විදේශ අමාත්‍යංශය සමග සාකච්ඡා කරලා රටවල් 4ක් එක් එක් ඖෂධ නිශ්චිත කාලයකදී දෙන්න එකඟ වී තිබෙනවා. එහි අවසන් කැබිනට් පත්‍රිකාව එන්න නියමිතයි. අපි දාපු ඕඩර්ස් අනුව සැප්තැම්බර්වල සිට ඖෂධ ඒවි. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හැටියට හිටපු සජිත් ප්‍රේමදාස මේවා නොදන්නවා නෙවෙයි. ඔය හිඟයක් හිඟයක් කියන කෑ ගැහිල්ලෙන් වාසි වෙන්නේ වෙළෙඳ සමාගම්වලට. ඒකෙන් වෙන්නේ දහ පහළොස් ගුණයක වැඩි මිලට බෙහෙත් විකුණන්න අවස්ථාව සැලසීම.”

Author

Related Posts