නීතිඥ රජීව් අමරසූරිය මහ බැංකුවේ මණ්ඩලවලින් ඉල්ලා අස්වෙයි

ජිමුත් ඉඳුසර රත්නායක

නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු සිය ධුර කාලය 2025 ජුනි 27 වන දිනෙන් අවසන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත, රජීව් අමරසූරිය මහතා 2024 ජනවාරි 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස වසර හයක කාලයක් සඳහා පත් කරන ලද අතර, ඒ අනුව ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2031 ජනවාරි 29 දා ය.

නමුත් අමරසූරිය මහතා 2025 මාර්තු 29 වන දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 29 වන සභාපතිවරයා ලෙස තේරී පත් වීමත් සමඟ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රකාශයට අනුව, ඔහු එම ධුරයට පත්වීමට දින දෙකකට පෙර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියකින් පාලක මණ්ඩලයෙන් සහ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන් අතර මහ බැංකු පනතේ 18 වන වගන්තියට අනුව, අවම වශයෙන් මාස 3 ක දැනුම් දීමේ කාලයක් නියම කරන හෙයින් එදින සිට මාස තුනක කාලයක් ගත වීමෙන් අනතුරුව මෙම මස 27 වන දින එම මණ්ඩලවල ධුර කාලය අවසන් කරන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරයා වෙත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවූ ලිපියේ රජීව් අමරසූරිය මහතා සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය විශාල වගකීමක් වන අතර ඒ සඳහා කාලය මිඩංගු කිරීමක් ද අපේකෂා කරන බැවින් මහ බැංකුවේ භූමිකාව වැනි ජාතික වැදගත්කමක් සහ ප්‍රමුඛතාවයක් ඇති කාර්යයක නියැලෙමින් එම කාර්යයන් කිරීමට අපහසු බවයි.

“මහ බැංකුව සෑම විටම ස්වාධීන ආයතනයක් විය යුතු අතර, එසේ ස්වාධීන ව කටයුතු කළ මණ්ඩලයක සාමාජිකයෙකු වශයෙන් කටයුතකු කිරීමට තමාට වාසනාව ලැබුණු බවත්, තම ඉල්ලා අස්වීමත් සමඟ නව පත්වීමක් සඳහා පුරප්පාඩුවක් ඇති වන අතර, ඒ නව සාමාජිකයෙකු නම් කිරීමේදී සහ පත් කිරීමේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය දේශපාලන බලවේග සහ රජයේ බලපෑමෙන් ස්වාධීනව පවතින බව සහතික කිරීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සැලකිලිමත් වනු ඇතැයි මට තමා විශ්වාස කරන බව” ඔහු වැඩිදුරටත් ලිපියේ දක්වා තිබුණා.

Author

Related Posts