ජිමුත් ඉඳුසර රත්නායක
එක්සත් පොදු සේවක සංගමය විසින් මගනැගුම මහමැදුර මහාමාර්ග අමාත්‍යංශය ඉදිරිපිට මෙම මස 18 වන දින සිදුකිරීමට සැලසුම් කර තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන බව අද (17) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ ලේකම් නිහාල් අජිත් මහතා ප්‍රකාශ කර සිටියා.
ඊයේ (16) දිනයේ දී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ප්රමුඛ කොටගත් පාලක පක්ෂය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරමින් කියා සිටියේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් සේවකයන් 1039 ක් පමණ ස්ථිර සේවය සඳහා බඳවාගැනීම වෙනුවෙන් බොහෝ කලක සිට තම සංගමය විසින් ගෙනගිය මෙම අරගලය පෙර පැවති ආණ්ඩු හා පාලකයන් විසින් මෙන්ම මේතාක් කාලයක් වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව ද නොසලකා හරිමින් හා නිසි පිළිතුරක් නොදෙමින් කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් තමා අඛණ්ඩ විරෝධතාවක් කිරීමට සූදානම් කළ බවත්, මෙසේ ආණ්ඩුව හා පාලක තන්ත්රය දැනුවත් කිරීමට අමතරව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පෝස්ටර් හා අනෙකුත් ක්‍රම භාවිතයෙන් ජනතාව මේ පිළිබඳ දැනුවත් කිරීමට ද කටයුතු කළ බවත් ඔහු විසින් ප්‍රකාශ කර සිටියා.
තව ද ඒ සඳහා ලංකාව පුරා විසිරී සිටින අනියම් සේවකයන් සූදානම් කරමින් ඔවුන්ට මෙම විරෝධතාව සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය ගමනාගමන පහසුකම් ආදී සෙසු පහසුකම් සූදානම් කරමින් සියලු කටයුතු සූදානම් කළ බවත් සඳහන් කරමින් මේ පිළිබඳ ව පසුගිය 11 වන දින පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළ බවත් කරුණු දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඊයේ දින මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්යක්ෂ ජනරාල්තුමා සමඟ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව 20 වෙනි සිකුරාදා සිට බස්නාහිර පළාතේ සම්මුඛ පරීක්ෂණ කැඳවීම ආරම්භ කරන අතර සෙසු පළාත්වල සම්මුඛ පරීක්ෂණ පවත්වන දිනය මේ සතිය ඇතුළත දැනුම් දෙනු ලබනවා අධ්යක්ෂ ජනරාල්තුමා පොරොන්දු වූ හෙයින් මෙම විරෝධතා ව්‍යාපාරය තාවකාලික ව අත්හිටුවන අතර ඒ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතරතුර අග්‍රාමාත්‍ය කමිටුවේ නිර්දේශය මේ සඳහා ලැබීමට නියමිත බැවින් හා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වනතෙක් විරෝධතාවය තාවකාලිකව නතර කරන මෙන් අධ්‍යක්ෂක ජනරාල්වරයා කළ ඉල්ලීම හේතුවෙන් බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
නමුත් යම්හෙයකින් මෙම වැඩපිළිවෙල අසාර්ථක වුවහොත් නැවත දිනයක් යොදාගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කරන බවත් ඔහු අවසාන වශයෙන් දැනුම් දී සිටියා.
