කොළඹ අවුලක් නෑ! සමහර තැන්වල රහස් ඡන්දය නීතිවිරෝධීයි! මංජුල කියයි! කොමසාරිස්ලාට නඩු වැටෙයිද?

කොළඹ මහනගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්දය නීතියට අනුකූලව සිදු වූ නමුත් අතැම් පළාත් පාලන ආයතනවල බහුතරය අත ඔසවා විවෘත ඡන්දයක් ඉල්ලා සිටියදී එසේ නොකිරීම නීතියට පටහැනි බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධයක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

අද (17) පැවතී මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, විවෘත ඡන්දයක් පැවැත්විය යුතු අවස්ථාවකදී පවා බහුතරය අත ඔසවා දැක්වූ අවස්ථා නොසලකා බලමින් රහස් ඡන්දයක් පැවැත්වීමේ ක්‍රියාවලි පහුගිය කාලයේදී දැක ගත හැකි වූ අතර, එය සිදු නොකළ යුතු අවස්ථාවක් බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල ගජනායක මහතා :

“මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අප විශ්වාස කරනවා දැනට පවතින ක්‍රියාදාමය තුළ මැතිවරණ කොමිෂන් සභාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සභිකයන්ගේ ලැයිස්තුව, ඒ සඳහා බලය ලැබෙන තේරීම්භාර නිලධරීන් බවට පත් වන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන්. ඔවුන් සතියකට පමණ පෙර නිවේදන නිකුත් කර තිබෙනවා මාධ්‍ය මගින්, ගැසට් නිවේදන මගින්. ඒ සභිකයන් පළමු සභා රැස්වීමට සහභගී වෙනවා. මෙහිදී මතු වෙන්නේ විවෘත ඡන්දයක්ද, රහස් ඡන්දයක්ද? විවෘත ඡන්දයක් ඉල්ලන අවස්ථාවලදී රහස් ඡන්දයක් දෙමින් පක්ෂග්‍රාහීව කටයුතු කළේද යන්න.

විශේෂයෙන්ම කොළඹ මහනගර සභා රැස්වීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගි කල්හාරි ජයවර්ධන මැතිණිය සිදු කරන ලද ක්‍රියාදාමය පක්ෂපාතී ක්‍රියාදාමයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වනු ලබනවා. ඔවුන් මේ සඳහා උපයෝගී කරගනු ලබන්නේ ඔවුන් සතුව තිබෙන නෛතික ප්‍රතිපාදන. විශේෂයෙන් අංක 262 පළාත් පාලන ආඥාපනත උපයෝගී කරගනු ලබන්නේ. ඔවුන් කරන චෝදනාවක් තමයි පළාත් පාලන කොමසාරිස්වරුන් තමන් අතට මාර්ගෝපදේශ සංග්‍රහයක් ලැබී තිබියදී එය නොසලකා ක්‍රියා කළාය කියන එක.

පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය තමයි ජාතික මට්ටමෙන් ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ. ඒ අනුව තමයි අමාත්‍යාංශ ලේකම්තුමාගේ අත්සනින් මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙන්නේ. එහෙත් මාර්ගෝපදේශ සංග්‍රහයක් යනු බයිබල් වාක්‍යයක් නෙවෙයි. එහි නිශ්චිතව කරුණු පැහැදිලි නොකර තිබෙන අවස්ථාවකදී ඒ සඳහා උපයෝගී කරගත හැකි අත්වැලක් පමණයි. එනමුත් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස කිව යුතුයි මාර්ගෝපදේශ සංග්‍රහයේ කිසිදු වැරැද්දක් දකින්නේ නැහැ.

මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් වන එක් වාක්‍යයක් තිබෙනවා. මෙය තමයි විපක්ෂය සඳහන් කරන්නේ. එක් එක් සභිකයන්ගේ නම අඬගගසා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතු බව. ඊයේ සිදු වුණේ තෝරාගැනීමේ ක්‍රමය පිළිබඳ මතභේදයක් උදා වුණා. විපක්ෂයේ කණ්ඩායම් සඳහන් කළා නාමලේඛනයන් පවතින බව 61 දෙනෙකුගේ. එවැනි නාමලේඛනයක් කිසිසේත්ම උපයෝගී කරගත නොහැකියි. සමස්ත කාර්යය සිදුවිය යුත්තේ තේරීම්භාර නිලධරයාගේ අභිමුව ඔහු හෝ ඇය සිටින විටකදීයි. අනෙක් අතට ඔවුන් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා. නමුත් මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් වන්නේ නම් අඬගසා ඡන්ද විමසීමක් කියලයි. ඡන්ද විමසීමක් කියන්නේ යම් අවස්ථාවකදී ඉතා පැහැදිලිව එක්කෝ අත් ඔසවා ප්‍රකාශ කළ හැකියි. නැත්නම් ඡන්ද පත්‍රිකාවක් මගින් කළ හැකියි. ඊයේ දිනයේදී මාර්ගෝපදේශ අනුගමනය කළා නම් එහිදී කළ යුත්තේත් අර කාර්යයම තමයි. නම් අඬගැසීමෙන් අනතුරුව කුඩා පත්‍රිකාවක් මගින් කැමැත්ත විමසන්න.

පනතට අනුව කොමසාරිස්වරිය පැහැදිලි කළ පරිදි ක්‍රියා කරන්නේ නම් පනත විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ විවෘත ඡන්දයකට යනවාද, රහස් ඡන්දයකට යනවාද කියා. විපක්ෂය කියා තිබුණා මාර්ගෝපදේශ අනුව විවෘත ඡන්දයකට යා යුතු බව. එහෙත් එය මුළුමනින්ම කොමසාරිස්වරියගේ අභිමතයට යටත් විය යුතුයි. එයට හේතුවක් තිබෙනවා. පනතකට අදාල අනුශංගික කාරණාවක් නියෝගයක් ලෙස ගැසට් මගින් නිකුත් කරන්න ඕනෑ. එහෙම කරලා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන්න ඕනෑ. නැත්නම් නීතිපතිවරයාගේ යම් අර්ථකතනයක් තිබෙන්නට ඕනෑ. කොමසාරිස්වරිය අර්බුදකාරී තත්වයකදී කළ යුත්තේ පාර්ලිමේන්තුව සම්මත කළ නීතියක්, ගැසට් පත්‍රයක් හෝ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කිරීම. එවැනි කිසිවක් නොතිබුණු නිසා කොමසාරිස්වරියට අභිමතය පරිදි කටයුතු කිරීමේ හැකියාව තිබුණා.


කෙසේ වෙතත්, විවෘත ඡන්දයක් විමසීම සඳහා බහුතරයක් අත ඔසවා තිබෙන අවස්ථාවලදී පවා එය නොසලකා බලහත්කාරයෙන් රහස් ඡන්දයකට ගිය අවස්ථා තිබුණා. එය සිදු නොකළ යුතු අවස්ථාවක්. එය සිදු නොකළ යුතු කාර්යයක් කියලා අපි හිතනවා. බහුතරයක් කියනවා නම් විවෘත ඡන්දයක් අවශ්‍ය බව, කිසිදු ආකාරයකට බලහත්කරයෙන් රහස් ඡන්දයකට යන්න බැහැ. එම නිසා නීතිමය අර්බුදයකදී එලෙස තීන්දු ගන්නා ලද පළාත් පාලන කොමසාරිස්වරුන්ට හෝ වරියන්ට ගැටලුවලට මුහුණපාන්න සිදුවේවි. කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවේදී ඒකමතිකත්වයක් ආවා. ඒ අනුව රහස් ඡන්දයකට ගිහින් තෝරාගත්තා. ඒ නිසා මා හිතන්නේ නැහැ කොළඹට අදාලව නෛතික අර්බුදයක් පැනනැග්ගා කියලා”

Author

Related Posts