දේශබන්දුගෙ නඩුවේ ලේඛන විකෘති කිරීමක් මාට්ටු!

මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියෙන් පසු  කොළඹ අපරාධ කොට්ඨාශයේ ලේඛනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු  බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික සහකාර සුදත් පුල්ලපෙරුම මහතා පවසනවා.

ඒ, වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

කොළඹ අපරාධ කොට්ඨාශයේ ඇති ඉන්වර්ඩ් සහ අවුට් වර්ඩ් ලේඛනයේ 2023.12. 29 දින  දත්ත ටිපෙක්ස් කර ඒ වෙනුවට 30 වැනිදා  මාතරට යැවීමට සූදානම් කර තිබූ රථයට අදාළ පොලිස් පෝරම 439 ට අදාල දත්ත යනුවෙන්  වෙනස් කෙරැණු බවයි ඔහු පවසන්නේ.

ලේඛනය ටිපෙක්ස්  කර ඇති හෙයින් එය නැවත සකස් කරන ලෙස වැඩබලන අධ්‍යක්ෂ  නෙවිල් ද  සිල්වා මහතා  උපදෙස් දුන් බවද සුදත් පුල්ලපෙරුම මහතා පවසනවා.

අදාල රථයෙන්  පිටව ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ  නිලධාරින් සියලු දෙනා යළි පැමිණියාදැයි  කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරැ සඳහන් කළේ, උපුල් මහතා පමණක් නොපැමිණි බවත් පැමිණියේ ඔහුගේ මළ සිරුර බවයි.

අනෙක් සියලු දෙනා පැමිණි බවද ඔහු එහිදී කියා සිටියා.

පෙර සඳහන් කළ ලේඛනය යළි සකස් කිරීම නිත්‍යානුකූලදැයි සභාපති  විනිසුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු  නැත යනුවෙන් පවසා තිබෙනවා.

එහිදී ලේඛනය ටිපෙක්ස්  කළේ කවුදැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී පුල්ලපෙරුම  මහතා සඳහන් කළේ, අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි  ඉනෝකා නමැති නිලධාරිනිය එය කළ බවයි.

නෙවිල් ද සිල්වා මහතා විසින් ලේඛනය වෙනස් කිරීමට පැවසූ බැවින් එය වෙනස් කළ බවත් මෙය බරපතළ සිදුවීමක් බවට දැන් වැටහෙන බවත් ඔහු පෙන්වාදෙනවා.

ඔහු පවසා සිටියේ, අලුත් ලේඛනයක් (පොතක්) සකස් කිරීමට සති දෙකක කාලයක් ගිය අතර, එය සකසා අවසන් වීමෙන් පසු, පරණ පොත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති වන ඇන්ස්ලම් ද සිල්වා මහතාට භාර දී ඇති බවයි.

පසුව එම ලේඛනය නැවත දැකීමක් සිදු නොවුණු බවත්, එය කාර්යාලය තුළද නොදුටු බවත් සුදත් පුල්ලපෙරුම සඳහන් කළා.

එහිදී අදහස් දැක්වු සුදත් පුල්ලපෙරුම මහතා :

” මහත්තයා කිව්ව නිසා තමයි වෙනස් කළේ.  දැන් මේක බරපතළ සිද්ධියක් නිසා වරද්දක් කියලා හිතෙනවා.  මොකක්   හරි  යටපත් කරන්න කරලා තියෙනවා කියලා දැන් තේරෙනවා.  අලුත් පොත හදන්න සති දෙකක කාලයක් ගියා. අලුත් පොත හැදුවට පස්සේ පරණ පොත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම්  ද සිල්වා මහත්තයාට භාර දුන්නා. ඉන්පසු මම ඒ ලේඛනය දැක්කේ නෑ.ඒක කාර්යාලයේ තිබුණෙත් නෑ.” 

‘දේශබන්දු තෙන්නකෝන් ඔබට හෝ  නෙවිල්  ද  සිල්වාට උපදෙස් දුන්නේ නැහැ මේ පොත වෙනස් කරන්න කියලා.  ඔබ ඒ යෝජනාව පිළිගන්නවාදැයි දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස් වීරවික්‍රම  මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදී පුල්ලෙපෙරුම මහතා  නැහැ ස්වාමීනී යනුවෙන් ද පැවසුවා.

Author

Related Posts