ප්‍රංශය ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට අත්සන් තබයි !

ජිමුත් ඉඳුසර රත්නායක

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට ඊයේ (16) කොළඹ දී පැවැත් වූ නිල අත්සන් තැබීමේ උත්සවයක දී අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා රජය තම හිඟ අයවැය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගෙන ඇති අතර, එසේ ණය ලබා දීමේ දී ණය වාරිකය, පොලී අනුපාතය, ණය ගෙවා පියවිය යුතු කාලය යන කරුණු සම්බන්ධයෙන් ණයහිමියා හා ණයගැතියා එකඟවන කොන්දේසි ගණනාවක් අපට දැකගත හැකිවනවා. කළින් එකඟ වූ එම ණය කොන්දේසිවල ව්‍යුහය දෙපාර්ශවයේ ම එකඟත්වය ඇතිව යළි වෙනසකට ලක් කිරීම ණය ප්‍රතිව්‍යුගතකරණය යනුවෙන් හැඳින්වෙන අතර මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර රාජ්‍යයක් කරා ගමන් කිරීම සඳහා වන අරමුණේ දී මෙසේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ හා ගිවිසුම් සඳහා එළැඹීමේ ප්‍රවණතාවක් මෑතක දී අපට දැකගත හැකි වුණා.

මෙසේ ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලීන් හරහා, ණය යළි ගෙවීමට හැකි පරිදි ප්‍රශස්ත මට්ටමකට ණය ප්‍රමාණය අඩු කර ගැනීමට රජය අපෙක්ෂා කරන බවත්, ණය ප්‍රතිව්‍යුගතකරණය තුළින් 2032 වසර වන විට නොපිය වූ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95%කට වඩා පහළ මට්ටමකට අඩු කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් වනවා.

ඒ අනුව යමින් මෙසේ ප්‍රංශ ජනරජය හා ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමත්, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමටත් ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳ ව සාක්ෂි දරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ජපානය සහ ඉන්දියාව සමඟ නිල ණයහිමි කමිටුවේ සම – සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේ දී ප්‍රංශ ජනරජය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවත්, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අර්ථාන්විත ප්‍රගතියක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකා රජයට මෙමඟින් හැකියාව ලැබී ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ප්‍රංශ ජනරජය වෙනුවෙන් එරට බහුපාර්ශ්වික කටයුතු, වෙළඳ හා සංවර්ධන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්, භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල්, විලියම් රූස් මහතා විසින් මෙම ද්විපාර්ශ්වික ණය ගිවිසුම සඳහා අත්සන් තබා ඇති අතර, ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ණය ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන බව මෙරට මුදල් අමාත්‍යාංශය පවසා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading