ජිමුත් ඉඳුසර රත්නායක
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීම සඳහා වූ ඊශ්‍රායලයේ සැලැස්ම, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කළ බව එක්සත් ජනපද ආරංචි මාර්ග විසින් සඳහන් කර තිබෙනවා.
කමේනි ඝාතනය කිරීම “හොඳ අදහසක් නොවන” බව ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පැවසූ බව වාර්තා වුවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම වාර්තාව පිළිබඳ ව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර දියත් කළ පසුගිය සිකුරාදා දින මෙම සංවාදය සිදු වූ බව සඳහන් වූ නමුත් ෆොක්ස් නිවුස් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී, ට්‍රම්ප් අයතුල්ලා ඝාතනය කිරීමේ තම සැලැස්ම ප්‍රතික්ෂේප කළ බවට වන රොයිටර් පුවත් සේවයේ වාර්තාව නෙතන්යාහු විසින් සෘජුව ම තහවුරු කළේ හෝ මුළුමනින් ම ප්‍රතික්ෂේප කළේ නැත.
ඊශ්‍රායල අගමැතිවරයා “කිසි විටෙකත් සිදු නො වූ ඇතැම් සංවාද පිළිබඳ ව බොහෝ අසත්‍ය වාර්තා තිබිය හැකි බැවින්, තමා ඒ සම්බන්ධ අදහස් දැක්වීමෙන් වැළකී සිටින” බව සඳහන් කළ අතර, ඔවුන්ට කළ යුතු දෙයක් වේ නම් ඔවුන් එය අනිවාර්යයෙන් ම සිදු කරන බවත්, එක්සත් ජනපදය විසින් ඔවුන්ට හොඳ කුමක් දැයි දන්නා බවත්, තමා එයට සම්බන්ධ නොවන බවත්” වැඩිදුරටත් පවසා සිටියා.
ප්‍රතිපත්තියක් ලෙස ඊශ්‍රායලය දේශපාලන නායකයින් මරා දැමීම සිදු නො කරන අතර, න්‍යෂ්ටික සහ මිලිටරි කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවත්, එවැනි න්‍යෂ්ටික වැඩසටහන්වල නියැලෙන හා ඒ සම්බන්ධව තීරණ ගන්නා කිසිවකු නිදහසේ හා පහසුවෙන් ජීවත් විය යුතු නැති බවත් ඊශ්‍රායල නිලධාරියෙක් CBS ප්රවෘත්ති සේවය වෙත මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියා.
ඊශ්‍රායලය පසුගිය සිකුරාදා ඉරාන න්‍යෂ්ටික යටිතල පහසුකම් ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර, ඉන් අනතුරුව ඊශ්‍රායලය වෙක ද ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කිරීම සිදු කළා.
මැද පෙර දිග මෙම තත්ත්වය උත්සන්න වන විට ට්‍රම්ප් සඳහන් කළේ “ඉරානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් ඇති කර ගත යුතු” බවයි. පසුව ඔහු විසින් මම ඉන්දියාව සහ පකිස්තානය මෙන් ඊශ්‍රායලයේ හා ඉරානයේ සතුරුකම් ද නතර කරන බව පවසා සිටියේ රටවල් අතර පවතින මෑත කාලීන ගැටුම් පිළිබඳ ව නැවත වරක් සඳහන් කරමින්.
කැනඩාවේ G7 සමුළුවට යාමට පෙර මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදය ඊශ්‍රායලයට දිගටම සහාය දෙන බව ය.
කෙසේ වෙතත් ඇමරිකානු-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවල ඊළඟ වටයේ සාකච්ඡා පසුගිය ඉරිදා පැවැත්වීමට නියමිත ව තිබූ නමුත් එම සාකච්ඡාවල මැදිහත් කරු වශයෙන් ක්‍රියා කරන ඕමානයේ, විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි ඊට එක් දිනකට පෙර නිවේදනය කළේ ඒවා අවලංගු කර ඇති බවයි.
ඊශ්‍රායල ප්‍රහාරයට තමා ලක්ව තිබිය දී සටන් විරාමයක් සඳහා සාකච්ඡා කිරීමට තමන් සහභාගි නොවන බව ඉරානය, කටාර් රාජ්‍යයට සහ ඕමානයට පැවසූ අතර බව පවසා සිටි බව ආරංචි මාර්ග සඳහන් කළ අතර, ට්‍රම්ප් පවසා සිටියේ එක්සත් ජනපදය “ඉරානයට එල්ල කළ ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති” බවයි.
“ඉරානය තම රටට කුමන ආකාරයෙන් හෝ පහර දුන්නොත්, එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්ගේ සම්පූර්ණ ශක්තිය පෙර කිසිදා නොදුටු ආකාරයකින් ඉරානය මත හෙළන බව” යි ඔහු අනතුරු අඟවමින් වැඩිදුරටත් සඳහන් කළේ.
