ආණ්ඩුවට සති 2ක් දෙනවා… විසඳුම් නොදුන්නොත් බලාගමු…

සිය අමතර රාජකාරි දීමනාව සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු විසඳීමට චක්‍රලේඛ කඩිනමින් නිකුත් නොකරන්නේ නම් ලබන 30 වෙනිදායින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මේ බව කියා සිටියා.
පසුගිය අයවැයේදී රාජ්‍ය සේවකයින්ට සිදු වූ වැටුප් සංශෝධනයට අනුරූපව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාව සම්බන්ධව ගැටළුවක් මතු වූ බවත් එම ගැටලුව විසඳීම සඳහා රජය කටයුතු කරන බවට පොරොන්දු වූ බව ඔහු සඳහන් කරයි.

රාජකාරී දීමනාවේ අගය එලෙසින්ම පවත්වාගෙන යාමටත්, ඉන් කොටසක් ආරම්භයේදී ලබාදීමටත් සහ ඉතිරි කොටස් ක්‍රමානුකුලව ලබා දීමට රජය එකඟ වුවද, මාස 3ක් ගොස් ඇතත් ඊට අදාළ චක්‍රලේඛය මෙතෙක් නිකුත් කර නොමැති බව චමිල් විජේසිංහ පවසනවා. නිකුත් කරන ලද චක්‍ර ලේඛයේ දෝෂ තිබූ බවත් නැවත වරක් ආණ්ඩුව ඒ දෝෂ සහගත චක්‍රලේඛයම නිකුත් කිරීමේ සුදානමක් ඇති බව ඔහු සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග යද්දී අය වැය සමයේදී සොඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළද එම ප්‍රකාශය අනුව වැඩ කිරීමටවත් සොඛ්‍ය අමාත්‍යංශයට හැකියාවක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වරයා කියා සිටියේය.

සොඛ්‍ය අමාත්‍යංශය විසින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරමින්, කලයුතු දේ නොකරමින් සොඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නම් මේ පිටුපස ඇති කාරණය පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සිදු වන බව ඔහු පවසයි.

අදාළ වැරදි නිවැරදි කිරීම සඳහා ආණ්ඩුවට සති දෙකක් එනම් ජූනි 28 දින දක්වා කාලය ලබා දෙන බවත් ඒ සති දෙක තුළ වැරදි නිවැරදි නොකලොත් ජූනි 30න් ආරම්භ වන සතිය තුළ ආණ්ඩුවට දැනෙන විදිහේ උත්තරයක් දීමට බලාපොරොත්තු වන බව චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading