තරිඳු උඩුවරගෙදර
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ව්‍යවස්ථා සභාවට යෝජනා කර තිබු අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර් ගේ නම ඉවත් කරගැනීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභානායක බිමල් රත්නායක පියවර ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසනවා.
කෙසේ වෙතත්, එම ඉවත් කර ගැනීම තාවකාලික ඉවත් කරගැනීමක්ද, නැවත එම නම යොමු කිරීමට බලාපොරොත්තු වෙනවාද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ. මෙම නම පිළිබඳ සාකච්ඡාව මතු වූ මොහොතේ විපක්ෂයේ විරෝධයක් මතු වී තිබුණා.
කෙසේ වෙතත්, එම්.ටී. මොහොමඩ් ලෆාර් මහතාව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට අගවිනිසුරුවරිය නිර්දේශ කර නොතිබුණු අතර, එම පත් කිරීමට ඇය ලිඛිත විරෝධය දක්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ අගවිනිසුරුවරිය මෙලෙස විරෝධය දැක්වීම හෝ නමක් නිර්දේශ කිරීම සාමාන්‍ය තත්වයක් බව.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නව පත්වීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යෝජනාකර තිබු නම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (13) පස්වරු 4.00ට රැස්වූ අවස්ථාවේ මෙලෙස ලෆාර් මහතාගේ නම ඉවත් කරගැනීම සිදු කළා.
විනිසුරු ලෆාර්ගේ නම යෝජනා කර ඇත්තේ ජුනි 20 වැනිදා ඇති වීමට නියමිත පුරප්පාඩුවක් වෙනුවෙන් වීම විශේෂත්වයක්. ජුනි 20 වැනි දින විනිසුරු ගාමිණී අමරසේකර විශ්‍රාම යාම හේතුවෙන් එලෙස පුරප්පාඩුවක් ඇති වෙනවා.
කෙසේ වෙතත්, එම පුරප්පාඩුව පිරවීම සඳහා විනිසුරු ලෆාර් මහතගේ නම යවා ඇත්තේ ඊට පෙර, එනම් ජුනි 09 වැනිදායි. අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් මහතා අදාල පුරප්පාඩුව ඇති වීමට පෙර, එනම් ජුනි 18 වැනිදා වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යෑමට නියමිතයි. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාම යන වයස වන්නේ වස අවුරුදු 65 වීම නිසා ඔහුට සේවය කිරීමේ හැකියාව පවතිනවා.
මේ අතර අගවිනිසුරු ධුරයද ඉදිරියේදී හිස් වීමට නියමිත අතර, අභියාචනාධිකරණයේ සභාපති ධුරය සහ අගවිනිසුරු ධුරය යන ප්‍රබල තනතුරු දෙකටම පත් කළ යුතු පුද්ගලයා පිළිබඳ නීති සමාජයේ සාකච්ඡාවක් ඇති වී තිබෙනවා.
