ජිමුත් ඉඳුසර රත්නායක
අහ්මදාබාද් නගරයෙන්, බ්‍රිතාන්‍ය අගනුවරට දකුණින් පිහිටි ගැට්වික් ගුවන් තොටුපළ බලා යමින් සිටි බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය, ඊයේ (12) ගුවන් ගත වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයකට කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් දිවි ගලවා ගත හැකි වූයේ එක් පුද්ගලයෙකුට පමණක් බව එරට මාධ්‍ය වාර්තා කර සිටියා.
මෙම අනතුර දශකයකින් පසු ලොව සිදු වූ දරුණුතම ගුවන් අනතුර බව ලෝකය පුරා මාධ්‍යය නාලිකා විසින් වාර්තා කළ අතර, අනතුරෙන් දිවි ගලවා ගත් එක ම පුද්ගලයා ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන රමේෂ් විශ්වාෂ්කුමාර් බවත් ඔහු මේ වන විට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ගුවන් සේවය විසින් තහවුරු කළා.
“මම නැගිටින වෙලාවේ දී, මගේ වටේට ම මළ සිරුරු තිබුණා. ඒ මළසිරුරු දැකලා මම බය වෙලා නැඟිට වේගයෙන් ඉවතට දිව්වා. මගේ වටා ගුවන් යානයේ කෑලි විසිරී තිබුණා, මට මතකයි කවුරු හරි මාව අල්ලා ගෙන ගිලන් රථයකට දමා මාව රෝහලට ගෙනාවා.” යනුවෙන් විශ්වාෂ්කුමාර් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා සිටි අතර ඔහුගේ සහෝදරයා වන අජේ ද එම ගුවන් යානයේ වෙනත් පේළියක අසුන් ගෙන සිටි බවත් තමාට ඔහුව සොයා ගත නො හැකි වූ බවත්, මට ඔහුව සොයා ගැනීමට තමාට උපකාර වන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අහ්මදාබාද් පොලිස් ප්‍රධානී ජී.එස්. මලික් පැවසුවේ සොයා ගත් මළ සිරුරු අතර ගුවන් යානයේ මගීන් සහ නේවාසිකාගාර ගොඩනැගිල්ලේ දිවා ආහාර ගනිමින් සිටි පුද්ගලයින් ද ඇතුළත් විය හැකි බවයි. විශේෂයෙන් ම මියගිය අය අතර අහ්මදාබාද්හි ප්‍රධාන නගරය වන සුප්‍රසිද්ධ ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති විජේ රූපානි ද සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මේ වන විටත් මියගිය අය හඳුනා ගැනීම සඳහා DNA සාම්පල ලබා දෙන ලෙස ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටි බවයි එරට රාජ්‍ය සෞඛ්‍ය ලේකම් ධනංජේ ද්විවේදි පැවසුවේ.
එම අනතුරෙන් පසු ගුවන් යානයේ බඳෙහි කොටස් දුම් දමන ගොඩනැගිල්ල වටා විසිරී තිබුණු අතර, ගුවන් යානයේ වලිග කොටස ගොඩනැගිල්ලේ මුදුනේ සිර වී තිබෙනු දැකගත හැකි වුණා.
මගීන් අතර වැඩිහිටියන් 217 ක්, ළමුන් 11 ක් සහ ළදරුවන් දෙදෙනෙකු ඇතුළත් වූ බවත් ඒ අතරින් 169 කු ඉන්දියානු ජාතිකයන් බවත්, 53 ක් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් බවත් පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙක් මෙන් ම එක් කැනේඩියන් ජාතිකයෙකු ද සිටි බවත් රොයිටර් පුවත් සේවය හා එයාර් ඉන්දියා විසින් ප්‍රකාශ කර සිටියා.
ඉන්දියානු ගුවන් සේවා ආරක්ෂණ ජාලයේ දත්ත සමුදායට අනුව, මෙම ගුවන් යානය 2013 දී ප්‍රථම වරට පියා සර කර ඇති අතර 2014 ජනවාරි මාසයේ දී එයාර් ඉන්දියා වෙත භාර දී ඇති බව සඳහන් වනවා.
එම අවස්ථාව සඳහන් වූ CCTV දර්ශනවලින් යානය නේවාසික ප්‍රදේශය මතින් ගුවන් ගත වන ආකාරය හා පසුව තිරයෙන් අතුරුදහන් වන ආකාරය සටහන් ව තිබූ අතර, අවසාන වශයෙන් එම නිවාසවලට ඉහළ අහස වෙත විශාල ගිනි බෝලයක් නැඟී එන ආකාරය දැක ගත හැකි වුණා.
එරට ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදු පවසා සිටි අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම කාරණය පිළිබඳ විස්තරාත්මක ව පරීක්ෂා කිරීම සඳහා රජය බහුවිධ අංශවල විශේෂඥයින්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් පිහිටුවන බවයි
