ලංකා බැංකු සේවක සංගමය විසින් ඊයේ (12) රාජ්‍ය බැංකු පද්ධතිය තුළ පැන නැගී ඇති අර්බුද පිළිබඳව ජනාධිපතිවරයාට, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාට දැනුවත් කිරීමේ සංදේශයක් ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් – මහජන සබඳතා වෙත බාර දුන්නා.
රාජ්‍ය බැංකු පද්ධතිය තුළ පැන නැගී ඇති අර්බුදකාරී තත්වයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හට දිගින් දිගටම ලිඛිතව දැනුම් කර ඇත. නමුත් ඒ සඳහා කිසිදු පියවරක් නොගැනීම නිසා සංගමයේ ක්‍රියාකාරී නියෝජිතයන්ගේ සහභාගිත්වයේ මෙම සංදේශය බාර දීම සිදු කරන ලදී.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන පැවසුවේ රාජ්‍ය ආයතන ආරක්ෂා කරනවා කියමින් බලයට පැමිණි ආණ්ඩුව රාජ්‍ය බැංකු පද්ධතිය ස්වාභාවික මරණයකට පත්කිරීමකට කටයුතු කරමින් සිටින බවයි. වසර ගණනාවක් තිස්සේ පවතින මෙම ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍යවරයා සහ වගකිවයුතු බලධාරීන් මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී රාජ්‍ය බැංකු සියල්ල ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගකට යන බව මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා බැංකු සේවක සංගමයේ නායකයින් විසින් සඳහන් කළා.
එම සංදේශයේ සඳහන් කාරණා පහත පරිදි වේ.
01.ශ්‍රී ලංකා මහ බැංකු සීමා කිරීම් හමුවේ HDFC බැංකුවේ අනාගතය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි HDFC බැංකුවේ ප්‍රධාන ණය නිෂ්පාදන ද්විත්වය අත්හිටුවීම, තැන්පතු සඳහා උපරිම සීමා පැනවීම, ප්‍රාග්ධන වියදම්, සේවක බඳවා ගැනීම් අත්හිටුවීම, සේවක වරප්‍රසාද අත්හිටුවීම තුළ බැංකුවේ පැවැත්ම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතු වීම. බැංකුවේ ප්‍රාග්ධන, ද්‍රවශීලතා ඇතුළු නිර්ණායකයන් යහපත් ආකාරයන් පැවතිය දී මෙවැනි සීමා කිරීම් පැනවීම ගැටලුකාරී වීම. එමෙන්ම එය තැන්පතු කරුවන්ට හා කොටස් හිමියන්ට ද යම් බලපෑමක් ජනිත කිරීම.
02 .ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළව වාර්ෂික ප්‍රසාද දීමනා හා දිරිදීමනා සම්බන්ධව මතු වී ඇති ගැටලුව.
i) ඉතිහාසයේ දී කම්කරු අරගල තුළින් දිනාගත් අයිතියක් ලෙස ව්‍යවස්ථාපිතව චිරාත් කාලයක් තිස්සේ ඉහත බැංකු 3 සඳහා වාර්ෂික ප්‍රසාද දීමනා (Annual Bonus ) ලෙස මාසික දළ වැටුප් 2 ක් වර්ෂය තුළ දී ලබාදෙයි. ඊට අමතරව 2001 වසරේ සිට පෙර වසරේ ලාභය පදනම්ව වාර්ෂික දිරිදීමනා (Incentive Bonus ) ලබාදෙයි.එක් එක් බැංකුවල ශක්‍යතාව අනුව එම බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල විසින් එලෙස දිරිදීමනා ලබාදෙනු ලබන ප්‍රමාණය තීරණය කරනු ලබයි. එහෙත් මුදල් අමාත්‍යාංශය විසින් මෑතක දී නිකුත් කරන ලද උපදෙස් ලිපියක් මගින් එම වාර්ෂික ප්‍රසාද දීමනා සහ වාර්ෂික දිරිදීමනා යන දීමනා දෙවර්ගය එකක් ලෙස සලකමින් ලංකා බැංකුවට හා මහජන බැංකුවට වාර්ෂිකව උපරිම දීමනා 5 ක් ලෙසත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට වාර්ෂිකව උපරිම දීමනා, 04 ක් ලෙස ද සීමා කිරීමකට ලක්කර ඇත.
ඒ හේතුවෙන් ලංකා බැංකුවේ, මහජන බැංකුවේ හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයින් හට වසර අවසාන දෙසැම්බර් මාසයේ දී ගෙවනු ලබන වාර්ෂික ප්‍රසාද දීමනාව ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලු මතු වෙමින් පවතී.
ii) වාර්ෂිකව ගෙවනු ලබන පාරිතෝෂික දීමනා සහ දිරිදීමනා සඳහා බැංකු විසින් දරන ලද මුදල මෙන් දෙගුණයක් අයබදු (Levy) ලෙස මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු බවට ප්‍රධාන රාජ්‍ය බැංකු වෙත දන්වා ඇති අතර මෙය පවතින තත්වයන් නිසි ලෙස සමාලෝචනය නොකර ගනු ලැබූ වැරදි තීරණයකි.දැනටමත් ඉහත බැංකු ත්‍රිත්වය VAT ,SSCL හා ආදායම් බදු ලෙස ඉතා විශාල බදු ප්‍රමාණයක් භාණ්ඩාගාරය වෙත ගෙවනු ලබයි. මෙම නව අයබදු ගෙවීම තුළ බැංකුවල ප්‍රාග්ධන පදනමට බලපෑම් එල්ලවන අතර බරපතල අනාගත අවදානමක් මතුවේ.
03.රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) ඒකාබද්ධ කිරීම.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, මහජන බැංකුව සමග ඒකාබද්ධකිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ වී කටයුතු සිදුවන බවට වාර්තා වුව ද බැංකු ද්විත්වයෙහිම සේවකයින් නියෝජනය කරනු ලබන වෘත්තීය සමිතිය ලෙස මේ සම්බන්ධයෙන් අප වෙත කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නැත. මෙවැනි ඒකාබද්ධයක් තුළින් සේවක පාර්ශවයට මෙන්ම බැංකුවට ද ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරනු ලබන සංගමයක් ලෙස මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතුය.
එමෙන්ම ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව (LDB), ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට (RDB) ඒකාබද්ධ කිරීමේදීත්, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව (SLSB), ජාතික ඉතිරිකිරීමේ බැංකුවට (NSB) ඒකාබද්ධ කිරීමේදිත්, පාර්ශවයක් ලෙස අප සංගමය ද මැදිහත් වූ අතර ඒ හේතුවෙන් එම ක්‍රියාවලීන් සුමටව අවසන් කර ගැනීමට හැකිවිය.
04 .ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පැන නැගී ඇති ගැටලු.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විධායක බලතල ආරෝපණය කරගනිමින් බැංකුවේ දෛනික කටයුතුවලට බලපෑම් කිරිම තුළ අර්බුදයක් නිර්මාණය වී ඇත. උසස්වීම් ලැයිස්තු හා විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සභාපතිවරයා අනවශ්‍ය ලෙස අතපෙවීම් සිදු කිරීම තුළ මෙම තත්වය නිර්මාණය වී ඇති අතර, හිටපු සාමාන්‍යාධිකාරීවරයා හා ඔහු අතර ගැටුමක් දක්වා ද මේ තත්වය වර්ධනය වී ඇත. සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය තුළ බැංකුවේ කාර්මික සාමය බිඳ වැටි කාර්මික ආරවුලක් දක්වා වර්ධනය වීම තුළ එම තත්වය බැංකුවේ ව්‍යාපාරික පැවැත්මට බාධාවකි.
එමෙන්ම නව සාමාන්‍යාධිකාරීවරයෙකු බඳවා ගැනීම සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇත්තේ යම් දේශපාලනික අතපෙවීම් නිසා බව වාර්තා වේ. මෙය පිළිගත් ආයතනික යහපාලන මූලධර්මවලට සපුරා පටහැනි තත්වයකි.
05.ශ්‍රී ලංකා මහ බංකුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මතු වී ඇති ගැටලු.
සියලු බැංකුවල නියාමකයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය තුළ රාජ්‍ය බැංකු කිහිපයක අර්බුදකාරී තත්ව මතුව ඇත.
i) මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (AGM) ශ්‍රේණියට උසස්වීම් ලැබූ නිලධාරීන් කිහිපදෙනෙකු සඳහා අනුකූලතා සහතික (Fit & Proper) ලබාදීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාස 09 ට ආසන්න කාලයක් ප්‍රමාද කිරීම තුළ බැංකුවේ කටයුතු සුමටව සිදුකරගෙන යාම සඳහා බාධා එල්ල වී ඇත.
ii) ශ්‍රි ලංකා මහ බැංකු සීමා කිරීම් හේතුවෙන් HDFC බැංකුවේ පැවැත්ම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතු වී ඇත.
iii) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වෙත ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ සීමා කිරීම් පනවා ඇති අතර ඒ හේතුවෙන් බැංකුවේ මෙහෙයුම් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇත.
