අනුර පුරප්පාඩුවක් නැතිව ශ්‍රේෂ්ඨාධිකරණයට නමක් යවලා! නීති ක්ෂේත්‍රයේ සාකච්ඡාවක්

විනිසුරු ගාමිණී අමරසේකර විශ්‍රාම ගැනීම හේතුවෙන් එළඹෙන ජුනි 20 වන දා ඇතිවීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති එම්. ටී. මොහොමඩ් ලෆාර්ගේ නම ජනාධිපතිවරයා විසින් පසුගිය ජුනි 9 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇතැයි වාර්තා වනවා.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරය පුරප්පාඩු වීමට නියමිත ව ඇත්තේ ජුනි 20 වැනිදා වන අතර, සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වන තෙක් එම ධුරය සඳහා නාම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යැවීමක් සිදු වන්නේ නැත.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර්, ජුනි 18 වැනිද, එනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුව ඇති වීමට දින දෙකකට පෙර සිය වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා අභියාචනාධිකරණයෙන් විශ්‍රාම ලැබීමට නියමිතව සිටි අතර ජනාධිපතිවරයා ඔහුගේ නම මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියමිත කාලයට ප්‍රථම යවා ඇත්තේ, ඔහු ඉන් විශ්‍රාම ගැනීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට විය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගනු ලබන්නේ වයස අවුරුදු 65 දී වන නමුත්, මෙතෙක් ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නාමකරණය වැනි සම්ප්‍රදායක් අධිකරණ ක්ෂේත්‍රයේ මෙතෙක් පැවැතී නැතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අධිකරණවල පත්කිරීම් පිළිබඳ තම තීරණය ගැනීමට පෙර අගවිනිසුරුවරයාගේ/වරියගේ අදහස විමසිය අතර, ඒ හේතුවෙන් අගවිනිසුරුගේ නිර්දේශය එම විනිසුරුවරයා/වරිය ජනාධිපතිවරයා විසින් නම් කිරීමට පෙර ලබාගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස සලකනවා‍. එහෙත් මෙම නම් කිරීම සිදුකිරීමේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගෙන් මේ පිළිබඳ විමසීමක් සිදුකර, නිර්දේශය ලබාගෙන නෙැමැති බවයි සදහන් වන්නේ.

මීට පෙර පසුගිය ජනවාරි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර හතරක් සඳහා පුරප්පාඩු ඇති වී තිබූ අවස්ථාවේ දී, ඒ සඳහා අගවිනිසුරුවරයා විසින් නිර්දේශ කළ නම් අතර එම ලැයිස්තුවේ ලෆාර් මහතාගේ නම සඳහන් ව තිබුණේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා නොකළ අතර, එම හේතුව මත ලෆාර් මහතාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුද, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටි සෝභිත රාජකරුණා හා මේනකා විජේසුන්දර යන විනිසුරුවරුද අගවිනිසුරුවරියගේ නිර්දේශ මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත්වීම් ලබාගනු ලැබුවා.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් සඳහා සුදුසු යැයි අගවිනිසුරුවරිය විසින් නිර්දේශ නොකරන ලද ලෆාර් විනිසුරුවරයාගේ නම, මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කරන්නට තරම් සිදු වූ වෙනස හා හේතුව කුමක්දැ යි අධිකරණ ක්ෂේත්‍රයේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවා.

මේ අතරතුර අභියාචනාධිකරණ වැඩ බලන සභාපති ලෆාර් ඉදිරියේ ඇසෙමින් තිබුණු නඩුවක කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු අභියාචනා ඉල්ලීමක් සලකා බලා අභියාචනාධිකරණයේ එම නඩුව ඇසීම තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජුනි මස 9 වැනිදා නිකුත් කළ අතර, එහි දී අභියාචකයන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ අභියාචනාධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු නොවීම ගැන තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කරවන බවයි.

කොල්ලුපිටිය මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් පවරා තිබුණු එම නඩුවේ දී, නීතිඥවරුන්ට පෙනී සිටීමට නොහැකි බව පෙන්වා දී තිබිය දීත්, ජුනි 18 වන දා ට පෙර එනම් ලෆාර් විනිසුරුවරයා විශ්‍රාම යන දිනයට පෙර ඔහු ඉදිරියේ එම නඩුව කැඳවීමේ ප්‍රයත්නයක් තිබුණු බව පෙනෙන බව අභියාචක පාර්ශ්වයේ නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙනු ලැබුවා.

මීට පෙර ද කොහිලවත්තේ මුස්ලිම් පල්ලියක් සම්බන්ධයෙන් ලෆාර් විනිසුරුවරයා දුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබ ඇති බව සඳහන් කළ යුතුයි.

මේ අතර විවිධ පාර්ශ්ව හා ඔවුන්ගේ නීතිඥයන් එකතු වී අභියාචනාධිකරණයේ විනිශ්චයාසන තමාට වුවමනා පරිදි සකස් කර ගැනීමට උත්සාහ දැරීමේ ප්‍රවනතාවක් දක්නට ඇති බවටත්, අනෙක් පාර්ශ්වයේ නීතිඥවරුන්ට අධිකරණයට පැමිණිය නොහැකි බවට පෙන්වා දී තිබියදීත්, එවැනි විශේෂ නඩු, විශේෂ විනිශ්චයාසන ඉදිරියේ, විශේෂ දිනවලට නියම කරගැනීමට උත්සාහ දරන බවටත්, අධිකරණ ක්ෂේත්‍රයේ කතිකාවතක් මතු ව තිබෙනවා.

මීට පෙර ද ලෆාර් විනිසුරුවරයා අභියාචනාධිකරණ සභාපති ධුරයට පත්කරන විට දී ත්, ඔහුට අගවිනිසුරුවරියගේ නිර්දේශය නොලැබුණු අතර, ඒ බව නොසලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දස දෙනාගෙන් හය දෙනකු ඔහුට පක්ෂව ඡන්දය ලබා දීමෙන් ඔහු එම ධුරය සඳහා තේරීපත්වෙනු ලැබුවා. නමුත් අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ නොකළ විනිසුරුවරයකු, අභියාචනාධිකරණයේ සභාපති ධුරයට සුදුසු වන්නේ කෙසේ දැයි ඒ අවස්ථාවේ දීත් අධිකරණ ක්ෂේත්‍රය තුළ ගැටලුවක් සේ පැන නගිනු ලැබූ බව සඳහන් කළ යුතු යි.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජුනි 13 වැනිදා රැස්වීමට නියමිත බව දැක්වෙනවා.

කේ. ඩබ්ලිව්‍. ජනරංජන විසින් 2025 / 06 / 13 දින අනිද්දා පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙන් සකසා ගනු ලැබූ ලිපියකි‍.

Author

Related Posts