ගාසාවට ආධාර අරන් දැවැන්ත රථ පෙළපාලියක්! නවත්වන්න ඊශ්‍රායල හමුදාවට නියෝග!

ජිමුත් ඉඳුසර රත්නායක

ගාසා තීරය දක්වා පැමිණෙමින් සිටින ටියුනීසියානු විරෝධතාකරුවන්ගේ රථ පෙළපාලිය ගාසා තීරයට ඇතුළු වීම වැළැක්වීම ක්‍රියා කළ යුතු බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඊයේ (11) දිනයේ ඊශ්‍රායල හමුදාවට නියෝග කළා.

ඊශ්‍රායල ක්‍රියා පටිපාටියට විරෝධය පාමින් ගාසා තීරය වැටලීම සඳහා ගොඩ බිමින් රථ පෙළපාලියක් ගමන් කිරීමට පසුගිය දා දහස් ගණනින් ටියුනීසියාවට රැස් වූ අතර, මෙම රථ පෙළපාලිය ගේබ්ස් වෙත පැමිණ , ලිබියාව, ඊජිප්තුව හරහා ගොස් ගාසා තීරය වෙත පිවිසීමට අපේක්ෂා කරනවා‍.

මේ රථ පෙළ මොරිටේනියාව, මොරොක්කෝව, ඇල්ජීරියාව, ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුවෙන් පැමිණි දහස් ගණනක් ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වනු ඇති බවට විශ්වාස කරනවා.

එම කණ්ඩායම මේ වන විට උතුරු අප්‍රිකාව හරහා රාෆා දේශ සීමා හරස් මාර්ගය දෙසට ගමන් කරමින් සිටින බවත්, ඊජිප්තු-ගාසා දේශ සීමාවේ පිහිටා ඇති මෙම රාෆා හරස් මාර්ගය, ගාසා තීරය වෙත ඇතුළු විය හැකි ස්ථාන කිහිපයෙන් එකක් බවත් සඳහන් වනවා.

නමුත්, ඊශ්‍රායල නිලධාරීන් පවසන්නේ මෙම සතිය මුල දී ටියුනීසියාවෙන් පිටත් වූ මෙම රථ පෙළ පලස්තීනයට ප්‍රවේශ වෙමින් ඊශ්‍රායලයට හා එහි පවතින සීමා වන්ට අභියෝග කිරීමේ උත්සාහයක් ගෙන යන බවයි.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය කැට්ස් මෙම රථ පෙළපාලියට සහභාගි වන්නන් “ජිහාඩ්වාදී විරෝධතාකරුවන්” ලෙස නම් කරමින් රථ පෙළ ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිලධාරීන්ට අනතුරක් විය හැකි ගැටුම් ඇති කිරීමට ඉඩක් ඇති බව සඳහන් කරමින් කනස්සල්ල පළ කර සිටියා.

කෙසේ වෙතත් ඊශ්‍රායල රජය විසින් මෙසේ අහිංසක බව පෙන්වමින් හා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් ගෙන යන ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල වන මෙම රථ පෙළපාලිය දෙස මේ වන විට ලෝකයේ ම අවධානය හිමිවී ඇති අතර, මැඩ්ලීන් නෞකාව ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී අත්තඩංගුවට ගෙන ඊශ්‍රායල රජය විසින් කරන ලද අත්තනෝමතික මානව හිමිකම් උල්ලංඝනය සඳහා ලෝක ප්‍රජාවේ විරෝධය තවමත් ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එල්ල වී තිබෙනවා.

Author

Related Posts