මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් සේවකයින් සථීර නොකිරීම පිළිබඳව එක්සත් පොදු සේවක සංගමය විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද (11) වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්විණි.
එහිදී එක්සත් පොදු සේවක සංගමයේ ලේකම් නිහාල් අජිත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වසර 10 කට වඩා පැරණි අනියම් සේවකයින් 1039 දෙනෙකු සේවය කරන අතර ඔවුන්ව තවමත් ස්ථිර කර නොමැති බවයි. ඔවුන් දිනකට රු. 1350ක් වැනි පොඩි පඩියකට සේවය කරන අතර ඔවුන්ට පවතින ගැටළු පිළිබඳව අමාත්‍යවරයා සමග කතා කිරීමට සාකච්ඡා ගණනාවක් ඉල්ලුවද ඒ සඳහා මෙතෙක් පිළිතුරු දී නොමැත. එම නිසා එළඹෙන 18 වෙනිදා දැවැන්ත විරෝධතාවක් මග නැගුම මහ මැදුර අමාත්‍යංශය ඉදිරි පිටදී පවත්වන බව නිහාල් අජිත් මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
වෘත්තීය අයිතිවාසිකම් ගැන දන්නා වෘත්තීය සමිති නායකයින් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරු වී සිටියද වසර 10කට වැඩි කාලයක් අනියම් සේවකයන් ලෙස සිටින මේ සේවකයන් ස්ථිර කිරීමට කටයුතු කර නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළා. මේ වන විට පුරප්පාඩු 20000 ගණනක් තිබෙනවා නම් ඒ සඳහා මේ සේවකයින් බඳවා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු විමසා සිටි අතර ආණ්ඩුව බලයට පත් වී සිටින්නේ වැඩකරන පංතියේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දීම සඳහා නම් වහාම මේ අයගේ ගැටළු විසඳන ලෙස ජෝශප් ස්ටාලින් සඳහන් කළා. බිමල් රත්නායක ඇමතිවරයා ආණ්ඩුවේ වරප්‍රසාද රැක ගැනීමට පාර්ලිමේන්තුවේ කතා කරන්නා සේම තම අමාත්‍යංශය යටතේ සිටින මේ අනියම් සේවකයන්ගේ වරප්‍රසාද ලබා දෙමින් ඔවුන් ස්ථිර කිරීමට කටයුතු කරන ලෙස ඔහු ප්‍රකාශ කළා. එසේම ජූනි 18 වනදා එක්සත් පොදු සේවක සංගමය පැවැත්වීමට නියමිත විරෝධතාවය සඳහා තම සහයෝගයද ලබා දෙන බව ජෝශප් ස්ටාලින් මහතා අවධාරණය කරන ලදී.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පැවසුවේ දහ අට වෙනිදා විරෝධතාවයට ලංකා බැංකු සේවක සංගමයේ සහයද ලබා දෙන බවයි.
එසේම එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති නීතිඥ ස්වස්තිකා අරුලිංගම් සඳහන් කර සිටියේ රජය වහාම මේ කම්කරුවන්ගේ ඉල්ලීම් විසඳීමට කටයුතු කල යුතු බවත් 18 වනදා පැවැත්වෙන විරෝධතාවය සඳහා එක්සත් කම්කරු සම්මේලනයේ සහයෝගයද ලබා දෙන බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙම RDA සේවකයන් මහ පාරේ වැඩ කරන සේවකයන් වන අතර ඔවුන්ගේ රැකියා අනතුරු දායක රැකියා බවයි. විශේෂයෙන්ම ගැඹුරු කාණු සකස් කිරීමේදී සහ ඒවා පිරිසිදු කිරීම් වලදී එම සේවකයන් ඒ තුළ බැස යන්ත්‍රෝපකරණ සමග වැඩ කරන අතර ඒවා ඉතා පහසු රැකියා නොවේ. මෙලෙස අනතුරැදායක රැකියා වල නිරත වෙද්දී මොවුන් අනතුරැ වලට ලක් වන අතර මොවුන් අනියම් සේවකයන් නිසා ප්‍රමාණවත් අසනීප නිවාඩු, සමාජ ආරක්ෂණ හෝ රක්ෂණාවරණ නොමැත. මෙහි කාර්යාල සහ ස්ථිර සේවකයන් සඳහා අසනීප නිවාඩු හිමිකම ඇතත් අනියම් සේවකයන් සඳහා එම හිමිකම් අහිමි කර ඇත. මේ ආකාරයේ කිසිදු මූලික ආරක්ෂාවන් හෝ නොමැතිව මේ ආකාරයට ශ්‍රමය ලබා ගන්නේ මෙම සේවකයන්ද කම්කරුවන් හෝ මිනිසුන් ලෙස සලකා නොවේ. එම නිසා මෙම විරෝධතාවය තුළ අනියම් සේවකයන් සහ මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම, දින 21 ක අසනීප නිවාඩු සහ රක්ෂනාවරණයක් ලබා ගැනීම ඉල්ලීම් ලෙස තිබෙන බව ස්වස්තිකා අරුලිංගම් සඳහන් කරන ලදී. මෙය RDA කම්කරුවන්ගේ සටනක් වුවත් මෙම අනියම් සේවක සහ මෑන් පවර් සේවක ගැටළු රට පුරා තිබෙන බැවින් සියලු දෙනා මේ සඳහා සහභාගී වී මෙම සටනට සහය දිය යුතු බව ඇය වැඩි දුරටත් සඳහන් කරන ලදී.
NPP ආණ්ඩුව බලයට පත් වීම සඳහා වැඩකරන පන්තිය නියෝජනය කරන ජනතාවගේ සහය ලැබුණු බවත් එම නිසා එම සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් සඳහා පිටුපෑමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බව ඉඩම් හා කෘෂිකර්ම ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළා. විවිධ ක්ෂේත්‍ර සඳහා 22958 ක් පුරප්පාඩු පිරවීමට සකස් කරන ලද ලැයිස්තුවේ මෙම අනියම් සේවකයින්ගේ ඉල්ලීම නොමැත. එම නිසා ඊට අදාළව සාධාරණ බියක්, කලකිරීමක් සහ විරෝධයක් මේ කම්කරුවන් තුළ මේ වන විට ඇති වී ඇත. මෙම පුරප්පාඩු පිරවීමට අදාළ ලැයිස්තුවේ අනියම් සේවකයන් සඳහා පුරප්පාඩුවක් තිබේද, තිබේනම් බඳවා ගන්නේ කී දෙනෙක්ද සහ මේ පුරප්පාඩු පුරවන්නේ කෙසේද යන්න පිළිබඳව ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බව සඳහන් කරමින් චින්තක රාජපක්ෂ සඳහන් කළේ එළඹෙන 18 වනදා විරෝධතාවයට ඔවුන්ගේ සහයද ලබා දෙන බවයි.
