ජිමුත් ඉඳුසර රත්නායක
2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද දිනයේ දී (11) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
මෙම විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලි බල මණ්ඩලය විසින් 18.3% කින් ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ උපදෙස් සහිත ලිපියක් විදුලි බල මණ්ඩලයට යොමු කර ඇති බවත්, එම ලිපිය විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යොමු කර ඇති බවත් පැවසෙන අතර 2025 පළමු අර්ධයේ දී සිදුකළ විදුලි ගාස්තු අඩු කිරීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ව්‍යුහාත්මක මිනුම් ලකුණක් උල්ලංඝණය කර ඇති බව හා ඊළඟ සමාලෝචනය සමත් වීමට විදුලි බල මණ්ඩලය ලබන පාඩු වළක්වා ගැනීම ප්‍රධාන අවශ්‍යතාවක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කර තිබීමත් මෙහි දී සැලකිල්ලට ගනු ලබන බව සඳහන් වනවා .
ඒ අනුව විදුලි ගාස්තු ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන ලද දැනුම් දීම මත විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමට පාර්ශව කිහිපයකින් ම බලපෑම් එල්ල වී ඇති බව ද ආරංචි මාර්ග විසින් සඳහන් කරනවා.
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් මහජන අදහස් විමසා ඇති අතර ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සිය අවසන් නිර්දේශය අද දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.
