දකුණු ආසියාවේ විශාලතම VAT බදු වංචාවේ මහමොළකරු සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

දකුණු ආසියාවේ සිදුවූ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන 2004 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු වූ රුපියල් බිලියන 3.9ක වැට් බදු වංචා නඩුවේ මහ මොළකරු වන අටවන විත්තිකාර මොහොමඩ් කමිල් කටුබ්ඩීන් නමැත්තා වෙනුවෙන් යළි කරුණු දැක්වීමක් අභියාචනාධිකරණය හමුවේ සිදුකිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) අභියාචනාධිකරණයට වාරණ නියෝගයක් නිකුත් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල එම වාරණය නිකුත් කර සිටියා.

එම වාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන්නේ නම් සති දෙකක කාලයක් ඇතුළත ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් විභාග කළ මහාධිකරණය 2014.09.26 වැනිදා එකී විත්තිකරු ඇතුළු පිරිසක් වරදකරුවන් බවට නිගමනය කොට දඬුවම් නියම කළ බවත් එකී දඬුවම් නියෝගයන්ට එරෙහිව අටවන විත්තිකරු ඇතුළු විත්තිකරුවන් තිදෙනකු අභියාචනාධිකරණයට අභියාචනා ගොනු කළ බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පැවසුවා.

එකී අභියාචනා විභාග කළ අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් 2023.12.13 වැනිදා තුනෙන් දෙකක බහුතර තීන්දුවකින් මහාධිකරණයේ එකී දඬුවම් නියෝග තහවුරු කිරීම නිසා අටවන විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනාවක් 2024.06.27 වැනිදා ගොනු කර තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකී අභියාචනාව කැඳවමින් තිබියදීම විත්තිකරු අභියාචනාධිකරණයට මෝසමක් ගොනුකර අභියාචනාධිකරණය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී පෙර තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා කරුණු දක්වා ඇතැයිද පවසා සිටියා.

එකම සිද්ධිය සම්බන්ධයෙන් එකවර අධිකරණ දෙකක් හමුවේ කරුණු දැක්වීම නීතියට පටහැනි හා අයුක්ති සහගත ක්‍රියාවක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා සිල්වා මහත්මිය සමග පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවා.

එපමණක් නොව විත්තිකරු අභියාචනාධිකරණයට තීන්දුව නිකුත් කොට මාස හයකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට එකී අභියාචනාව ගොනු කර තිබීමත් කිසිදා මහාධිකරණය අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිට අධිකරණය මඟහැර සිටි විත්තිකරු තෙවන පාර්ශ්වයක් මගින් එකී පෙත්සම් ගොනු කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

මහාධිකරණය විසින් ව්‍යාපාරිකයකු වන අටවන විත්තිකරු ඇතුළු විත්තිකරුවන් එකී චෝදනාවලට වරදකරුවන් කර වසර ගණනක සිරදඬුවම් හා රුපියල් කෝටි ගණනක් දඩ නියම කර ඇත්තේ සාධාරණ නඩු විභාගයකින් අනතුරුව බව නීතිපතිවරයා ඉදිරිපත් කළ ලේඛන හා සාක්‍ෂි අනුව පැහැදිලි වන බැවින් එකී දඬුවම ඉවත්කොට ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවට සම්පත් අබේකෝන් හා ආර්. ගුරුසිංහ යන අභියචනාධිකරණ විනිසුරු මඬුල්ල නිගමනය කොට තිබූ නමුත් එවකට අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විත්තිකාර පෙත්සම්කරුවන් නිදොස් කොට නිදහස් කිරීමට වෙනම තීන්දුවක් ලබාදී තිබුණා.

Author

Related Posts