සිව්වෙනි දිනටත් දේශබන්දු විමර්ශන කමිටුවට

2023 වසරේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් සිව්දෙනෙකු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන්, ඊයේ (09) මෙම කමිටුව හමුවේ පෙනී සිටියේ සිව්වැනි දිනටයි.

නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශවය වෙත පසුගියදා ලබා දුන් අතර, තවත් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ දෙකක් පාර්ලිමේන්තුවට පැමිණ අධ්‍යනය කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය මත විත්තිකාර පාර්ශවයට අවස්ථාව හිමිව තිබුණා.

ඒ, 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ 24 සහ 25 යන සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පාර්ලිමේන්තුවට පැමිණ කියවා බැලීමටයි.

ඒ සඳහා, දින 03ක් ලබා දෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පසුගියදා කමිටුවෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත්, ඊයේ කමිටුවේ කටයුතු ආරම්භ කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ දින තුනක් අවශ්‍ය බව පැවසුවද නීතීඥ සංජීව වීරවික්‍රම මහතා සාක්ෂි සටහන් කියවා ඇත්තේ එක් දිනක් පමණක් බවයි.

ඊට පිළිතුරු දෙමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා, එහි යම් යම් වෙනස්කම් පවතින බවත් එම සාක්ෂි වාර්තා සොය පාර්ශවය වෙත ලබා දෙන්නේ නම් වඩාත් සුදුසු බවත් පවසා සිටියා.

එමෙන්ම, ලැබී ඇති තොරතුරු අනුව 28 වැනි සාක්ෂිකරු කැඳවීමට අවශ්‍ය නොවන බවද නීතිඥ සංජීව වීරවික්‍රම මෙහිදී යළිත් සඳහන් කළා.

නමුත්, ඊට විරෝධය දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ 28 වැනි සාක්ෂිකරු කමිටුව හමුවට කැඳවිය යුතු බව අතර කමිටුවද ඊට එකඟතාවය පළ කර තිබෙනවා.

එමෙන්ම, මෙම පරීක්ෂණයට අදාළව වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ 01, 24, 25 සහ 26 යන සාක්ෂිකරුවන් හතර දෙනෙකු යළි කමිටුව රැස්වෙන 11 වැනිදා කමිටුව හමුවට කැඳවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළා.

ඔහු තවදුරටත් සඳහන් කළේ , ඉතිරි සාක්ෂිකරුවන් 16 හෝ ඉන් අනතුරුව කැඳවිය හැකි බවයි.

එහිදී ඊට එකඟ වූ නීතිඥ සංජීව වීරවික්‍රම මහතා ප්‍රකාශ කළේ අදාළ සාක්ෂිකරුවන් සිව් දෙනා කැඳවන විට 16 වැනි සාක්ෂිකරු කමිටුව හමුවේ නොසිටිය යුතු බවයි.

ඊට කිසිවෙකුත් විරුද්ධ වූයේ නැහැ.

අනතුරුව කමිටුවේ එකඟතාවය පරිදි, හෙට (11) දිනයේ  01, 24, 25 සහ 26 සාක්ෂිකරුවන් කමිටුවට කැඳවීම තීරණය කෙරුණා.

මේ අතර, වැලිගම වෙඩිතැබීමේ සිදුවීමට අදාළ රස පරීක්ෂණ වාර්තා 2ක් , අධිකරණ වාර්තාවක් සහ මරණ පරීක්ෂණ වාර්තාවක් ඇතුළු වාර්තා 4ක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ඊයේ කමිටුවට භාර දෙනු ලැබුවා.

කමිටුව හෙට (11) උදෑසන 9.30ට යළි රැස්වීමට නියමිතයි.

Author

Related Posts