ඊශ්‍රායලය මුහුදු මංකොල්ලයක! මැඩ්ලීන් අනීතිකව පැහැරගනී! ඝාතක හමුදාව ග්‍රෙටා ඇතුළු ක්‍රියාකාරීන් රඳවාගනී

ඊශ්‍රායල් රජය  විසින් ග්‍රෙටා තුන්බර්ග් ඇතුළු ක්‍රියාකාරීන් රැගෙන ගිය මැඩ්ලීන් යාත්‍රාව සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.

ඊශ්‍රායලය නිවේදනය කර ඇති කරුණුද අනුව, අෂ්ඩොඩ් නම් වූ ඊශ්‍රායලයේ ඇති වරායට මෙම යාත්‍රාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබෙනවා. ෂයීටෙට් 13 නම් වූ ඊශ්‍රායල් නාවික හමුදා ඒකකය මෙම පැහැරගැනීම සිදු කර තිබෙනවා.  

ගාසා තීරයේ නිරාහාරව සිරගත වී සිටින පලස්තීන ජාතිකයන් වෙත ආහාර සහ ආධාර රැගෙන යමින් සිටි මෙම යාත්‍රාවේ නිරායුධ ක්‍රියාකාරීන් 12 දෙනෙකු සිටියා. ෆ්‍රීඩම් ෆ්ලෝටිලා එකමුතුව විසින් නිවේනය කර ඇති පරිදි ගාසා තීරය අත්පත් කොටගෙන එහි ජීවත්වන පුද්ගලයන්ට කෑම බීම නොදී සිරගත කරගෙන සිටින්නා වූ ඊශ්‍රායලයේ ආක්‍රමණික හමුදාව විසින් මෙම යාත්‍රාව අත්පත් කරගෙන තිබුණා.

ඔවුන් නිවේදනය කර තිබුණේ, තම කණ්ඩායම අනීතිකව ග්‍රහණයට අත්පත් කරගෙන ඇති බවත්, නිරායුධ සිවිල් වැසියන්ගෙන් සමන්විත මෙම යාත්‍රාව පැහැරගෙන තිබෙන බවත්, මෙය ජීවිතාරක්ෂාව උදෙසා වන භාණ්ඩ රැගත් ජාත්‍යන්තර ක්‍රියාකාරීන් රැගත් යාත්‍රාවක් වන බැවින් එලෙස රඳවා තබාගැනීම සඳහා නීතිමය බලයක් ඊශ්‍රායලයට නොමැති බවත්.

මේ වනවිට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවල නිරත වීම, යුධ නීති උල්ලංඝනය කිරීම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින සියලු නීති කඩකිරීම ගැන ඊශ්‍රායලයට චෝදනා එල්ල වෙනවා. ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකාව ඍජුව දායක වන අතර, ශ්‍රී ලංකාව වැනි රටවලට යුධ අපරාධ චෝදනා එල්ල කළ ඇමෙරිකාව නිර්ලජ්ජිත ලෙස ඊශ්‍රායලය ආරක්ෂා කරනවා.

ඊශ්‍රායලය නිවේදනය කර ඇත්තේ, මෙම යාත්‍රාවේ මගීන් තම තමන්ගේ රටවල් වෙත යැවීමට අපේක්ෂා කරන බව. සඳුදා පාන්දර ෆ්‍රීඩම් ෆ්ලෝටිලා කණ්ඩායම සිය ටෙලිග්‍රෑම් නාලිකාවෙන් ඡායාරූපයක් පළ කර තිබුණා. ඒ, යාත්‍රාවේ සිටින කණ්ඩායම ජීවිතාරක්ෂක කබා පැළඳගෙන දෑත් ඉහළට ඔසවාගෙන සිටින අයුරු. එම ඡායාරූපයෙහි ඊශ්‍රායල් හමුදාව දක්නට ලැබුණේ නෑ. කෙසේ වෙතත්, ඊට පෙර යාත්‍රාව වට කරමින් ඊශ්‍රායල් හමුදාව විසින් ක්වොඩ්කොප්ටර් එවා ඇති බවත්, ඔවුන් යම්කිසි දියරයක් ඉසිමින් සිටි බවත් වාර්තා කළා. එම දියරය යාත්‍රාව මතට වැටී තිබෙන අයුරුද දක්නට ලැබුණා.

මෙම යාත්‍රාව නිසා ලොවපුරා ප්‍රජාව විශාල බලාපොරොත්තුවක් තැබූ අතර, පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය සිදු කරමින් සිටින ජන සංහාරය සහ මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව ලෝකයේ නැගුණු ප්‍රබලම සංඥාවක් බවට එය පත් වුණා. එහි බලපෑම දරාගත නොහැකිව ඊශ්‍රායලය එය ‘සෙල්ෆි‘ යාත්‍රාවක් ලෙසත් ‘සෙලිබ්‍රිටීස්ලා‘ රැගත් එකක් බවත් උසුළු සහගත ප්‍රචාරයන් සිදු කළා. එහෙත්, එම ප්‍රචාරයන් අභිබවමින් මැඩ්ලීන් යාත්‍රාව ගාසා තීරයේ සිදුවන අපරාධවලට එරෙහි ප්‍රබල සංඥාවක් ලෙස ඉස්මතු වුණා. සමාජ මාධ්‍ය තුළ කතා කරමින් නොසිට සැබෑ ලෙසම ක්‍රියාකාරීත්වයකට යෑමක් ලෙස මෙය දැකිය හැකියි. එමෙන්ම, සමාජ මාධ්‍ය පාවිච්චි කරමිනුයි මෙම නිර්භීත නැගී සිටීම සිදු වුණේ. එහෙත්, ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයට ආධාර ලබා දීමට නම් එය තමන් හරහා සිදු කළ යුතු බව.

පසුගිය ඉරිදා ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා කියා තිබුණේ, ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවලට මැඩ්ලීන් යාත්‍රාව ගාසා තීරයට ළඟා නොවෙන ලෙස වග බලාගැනීමට උපදෙස් දී ඇති බවයි.

ගාසා තීරයට ආහාර ලබා නොදී සිර කරගෙන සිටින 11 වැනි සතිය මෙයයි.

Author

Related Posts