2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරුකර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.
පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවයි.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවත් ඔහු සඳහන් කරනවා.
එසේම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් එම අභියාචනයේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බව විත්තිකාර අභියාචක පවසා සිටිනවා.
ඒ අනුව අදාළ තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
