ජිමුත් ඉඳුසර රත්නායක
සමුපකාර දෙපාර්තමේන්තු හා සමිතිවල මිලියන ගණනින් සිදුව ඇති දූෂණ හා වංචා පිළිබඳව විධිමත් පරික්ෂණ ආරම්භ කරන බවත්, ඒවා කාලයේ වැලිතලාවට යට වීමට ඉඩ නොදෙන බවත් සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේ දී පැවති මධ්‍යම පළාත් සමුපකාර සමිති නියෝජිතයින් හමුවේ වන අතර එම හමුවේ මූලික අරමුණ වූයේ දැනට ක්‍රියාත්මක වන සමුපකාර, වර්තමාන සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස පරිවර්තනය කිරීම හා ජනතා ව්‍යවසායකත්වයක් යටතේ රටට අවශ්‍ය ආහාර රට තුළ ම නිෂ්පාදනය කිරීම හා අගය එකතු කර බෙදා හැරීම පිළිබඳව සමුපකාර සමිති නියෝජිතයින්ට දැනුවත් කිරීම යි.
ඒ සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංගය මගින් සකස් කළ ඉදිරි වැඩ සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරමින් සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු හා යෝජනා පිළිබඳව ද අවධානය දෙමින් රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සමුපකාර ව්‍යාපාරයේ දායකත්වය ලබා දිය හැකි ආකාරය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළා.
එහි දී වර්තමාන සමුපකාර ව්‍යාපාරය මුහුණදී ඇති අභියෝග පිළිබඳව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සමුපකාර සමිති හෝ බැංකු කඩා වැටීම සිදු වුවත්, ඒ සඳහා කිසිඳු වගකිවයුත්තෙක් නොසිටි බවත්, එම ක්‍රමය වෙනස් කරමින් යම් සමුපකාර සමිතියක හෝ ග්‍රාමීය බැංකුවක් සම්බන්ධව එහි සභාපතිවරයා හෝ අධ්යක්ෂ මණ්ඩලය තනි ව හෝ සාමූහික ව වගකියන ක්‍රමයක් නිර්මාණය කරමින්, හුදකලාවේ සමිති කඩාවැටීමේ නාස්තිකාර ක්‍රමය අවසන් කරන බව යි.
සමුපකාර නාමය අවභාවිත කරමින් පවත්වාගෙන යන විවිධ සමුපකාර හා මූල්‍ය සමාගම් මගින් සිදු කරන ජනතාව නොමග යවන වංචනික ක්‍රියාකාරකම් ද වැළැක්විය යුතු බව ද, එවැනි වැඩි පොළියක් ලබා දෙන බව ප්‍රචාරය කරමින් රට පුරා ප්‍රාදේශීය ශාඛා පිහිටුවමින් පොළි කඩ ආකාරයෙන් පවත්වාගෙන යන මේ වංචාකාරී මූල්‍ය ගනුදෙනු ක්‍රම වහාම නතර කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබූ බව ද සඳහන් කළා. ඒ සඳහා මෙම ආයතන හා සමිතිවල ක්‍රියාකාරකම් සෘජුව නිරීක්ෂණය කරමින් අවශ්‍ය නියාමන හා විගණන කටයුතු කඩිනම් කිරීමට සඳහා ජාතික හා පළාත් සමුපකාර කොමසාරිස්වරුන්ට මෙන්ම නිසි අධිකාරින් ට දැනටමත් ඒ සඳහා උපදෙස් හා නියෝග ලබා දී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
අනෙක් දෙපාර්තමේන්තු සේ ම සමුපකාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ දී යම් නිලධාරියෙක්, සංවිධානයක් හෝ ඕනෑම කණ්ඩායමක් විසින් කිසියම් අවභාවිතයක්, නාස්තියක්, දූෂණයක් හෝ වංචාවක් කර ඇත් නම් ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ලබන බවත්, ඒ පිළිබඳ ජනතාව හා ආයතන මඟින් අමාත්‍යාංශය වෙත දැනටමත් පැමිණිලි යොමු කර ඇති බවත්, සමුපකාර දෙපාර්තමේන්තුව ඒවා පිළිබඳ සලකා බලමින් ජාතික හා පළාත් මට්ටමින් විධිමත් පරීක්ෂණ ආරම්භ කරම අතර, කිසිසේත් ම එම පරීක්ෂණ කාලයේ වැලිතලාවට යට වීමට ඉඩ නොදී සත්‍ය කරුණු සොයා බලා ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් නීතිය හමුවට ගෙන එන බව අවසාන වශයෙන් එම මහතා අවධාරණය කර කියා සිටියා.
නියෝජිත හමුවේ ප්‍රධාන දේශනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා විසින් සිදුකළ අතර එහි දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන් ද සමගාමී අදහස් දැක්වීමක් සිදුකළා. මේ සඳහා මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තු කොමසාරිස් ඇතුළු පළාතේ සමුපකාර සභාපතිවරු හා සමිති නියෝජිතයින් රැසක් ද සහභාගි වී සිටියා.
රාජ්‍ය ආර්ථිකය හා පුරවැසියා නගාසිටුවීමෙ හි ලා සමුපකාර සමිති හා බැංකු පද්ධතිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත අනිවාර්යය හා අත්‍යාවශ්‍ය සේවා සැපයීමක් සිදු කරනු ලබන අතර, එහි බිඳවැටීම මුළුමහත් සමාජයට හා රාජ්‍ය ආර්ථිකය වෙත දැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා. නමුත් අද වන විට අකාර්යක්ෂමතාවය කරපින්නාගත් ලාංකේය සමුපකාර දෙපාර්තමේන්තුව නගා සිටුවීම සඳහා වන රජයේ මැදිහත්වීම අගය කළ යුතු අතර, පෞද්ගලික අංශය වෙත වැඩි ප්රතිලාභ ලබාදෙමින් හා දේශපාලන බලාධිකාරීන් විසින් රිසිසේ දූෂණ වංචා සහිතව ගෙනගිය මෙවැනි අනිවාර්යය හා අත්‍යාවශ්‍ය ආයතන පද්ධතීන් නැවත ජීවය ලැබීමෙන් හා එසේ රාජ්‍යයේ ආර්ථිකය වෙත බලපෑම් කළ තනි හෝ පුද්ගල කණ්ඩායම් වෙත නීතිය හමුවේ තරාතිරම නොබළා දඬුවම් කිරීම හා හානි පියවා ගැනීම හරහා රාජ්‍යයට සිදුවන ධනාත්මක බලපෑම, සුළුපටු නොවන බව අනිවාර්යයෙන් ම පැවසිය යුතු යි.
