ජිමුත් ඉඳුසර රත්නායක
වෙනස් කොට සැලකීමට ලක් වූ පාර්ශවයන් වෙත වැඩි වශයෙන් අවධානය හා අනුග්‍රහය දැක්වීමට යාමෙන් බහුතරය හට තම වරප්‍රසාද අහිමි වීම හෙවත් “reverse discrimination” සම්බන්ධ නඩුවක දී ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විෂම ලිංගික කාන්තාවකට පක්ෂ ව තම තීන්දුව ලබා දීමට කටයුතු කර තිබෙනවා.
මාලින් ඒම්ස් නම් සුදු ජාතික කාන්තාව විසින් තමා විෂම ලිංගික වීම හේතුවෙන් “ඔහියෝ තරුණ සේවා දෙපාර්තමේන්තුව” ඇගේ උසස් වීම ප්‍රතික්ෂේප කිරීමට හා ඒ වෙනුවට සමලිංගික කාන්තාවක් බඳවා ගැනීමත්‚ ඒම්ස් අඩු වැටුප් සහිත පහළ තනතුරක් සඳහා යෝජනා කර ඇගේ පෙර රාජකාරි සඳහා සමලිංගික පුරුෂයෙකු යෝජනා කිරීමත් යන කරුණුවලට විරුද්ධවයි මෙම නඩුව ගොනු කරනු ලැබුවේ.
සාමාන්‍යයෙන් මෙවැනි නඩුවල දී බහුතර කණ්ඩායමක කෙනෙකු තම ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය නිසා තමන්ට අසාධාරණ ලෙස සැලකූ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටින්නේ නම්, සේවායෝජක ප්‍රධානියා විසින් බහුතර කණ්ඩායමේ සාමාජිකයින්ට එම අවස්ථාවට පෙර දී ද අසාධාරණ ලෙස සැලකූ ඉතිහාසයක් ඇති බව පළමුව පෙන්විය යුතු බව ඇතැම් විනිසුරුවරුන් විසින් විශ්වාස කරනු ලබනවා. මෙම කාර්යය “පසුබිම් තත්වයන් පෙන්වීම” ලෙස හඳුන්වාගන්නා අතර, මෙකී තත්ත්වය බහුතර කණ්ඩායමේ පුද්ගලයින්ට අවාසිදායක ලෙස බලපාමින් තමන්ට වෙනස් කොට සැලකූ බව ඔප්පු කිරීම අසීරු කරනවා.
නමුත් නව දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ 9 – 0 ක ඒකමතික තීරණය මත ඒම්ස් මෙම නඩුවෙන් ජයග්‍රහණය කළ අතර‚ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වීමට පෙරාතුව මෙම නඩුව ඇමෙරිකානු සර්කිට් අභියාචනාධිකරණයේ ඉදිරිපත් වූ අවස්ථාවේ දී, විනිසුරුවන් ඒම්ස් පසුබිම් තත්ත්වයන් පෙන්වීමට අපොහොසත් වීම හේතුවෙන් සහ සුළුතර කණ්ඩායමක් තුළ සිටින අය මෙසේ වෙනස්කම් කිරීම සඳහා තීරණ ගෙන ඇති බවට සාක්ෂි පෙන්වීමට අවශ්‍ය බව පවසමින් ආයතන ප්‍රධානීන් ද විෂමලිංගිකයන් වීම ද හේතු කොටගෙන ඒම්ස්ගේ නඩුව ප්‍රතික්ෂේප කළ බව සඳහන් වෙනවා.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ” reverse discrimination ” යන්නෙන් නිශ්චිතව ම අදහස් කරන්නේ කුමක්දැ යි යන්න නැවත සිතා බැලිය යුතු බව පවසමින් නඩුව කැඳවීමට තීරණය කළ අතර අවසානයේ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දුව හරහා ට්‍රම්ප් රජය විසින් ඇමරිකානු සමාජයේ විවිධත්වය, සමානාත්මතාව හා ආන්තික ලිංගික ප්‍රජාවට එරෙහිව දියත් කළ යාන්ත්‍රණය නැවතත් කරළියට පැමිණ තිබෙනවා.
ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය ආරම්භයත් සමඟ, එරට ෆෙඩරල් රජය තුළ ආන්තික ලිංගික දිශානතීන් සඳහා තහනමක් පැනවූ අතර‚ එරට පරිපාලනය විසින් විවිධ දෙපාර්තමේන්තු සහ ආයතන පුරා ආන්තික ලිංගික දිශානතීන් සහිත බව සැලකූ සේවකයින් සිය ගණනක් සේවයෙන් පහ කරමින් විවිධත්වය ප්‍රවර්ධනය කරන ප්‍රධාන වැඩසටහන් ද නවතා දැමීම පිළිබඳ ලෝක ප්‍රජාවේ විරෝධය දැඩි වශයෙන් යොමු වී ඇති මොහොතක ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම ඒකමතික තීරණය සම්බන්ධයෙන් කතාබහක් ඇති වීම වැළැක්විය නො හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් පවසා සිටිනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාලින් ඒම්ස් පවසා සිටියේ “ මගේ මේ පියවර මේ ලෝකය අප සැමට ම ක්‍රීඩා කළ හැකි එක හා සමාන ක්‍රීඩා පිටියක් බවට පත් කිරීමට උත්සාහ කරන බව මිනිසුන් තේරුම් ගැනීමට උත්සාහ කරනවාට මම කැමතියි. මෙය ඔහියෝ හි සුදු ජාතික කාන්තාවක් සඳහා පමණක් නොවේ සමස්ත ලෝකයට ම බලපෑම් කරන නඩු තීන්දුවක්.” වන බවයි.
