පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබා ගත් බස්නාහිර පළාතේ අධ්‍යාපනවේදී උපාධිධාරින් 210 දෙනෙක්ට ගුරු සේවයේ පත්වීම් දීමේ ගැටළුවක් සම්බන්ධව අද(6) ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළා.
මාලඹේ සයිටම් වැනි අධ්‍යාපනය විකිණූ ආයතන වලට විරුද්ධ වෙමින් හරිණි අමරසූරිය ඇතුළු NPP ආණ්ඩුවේ සමහර පිරිස් බලයට පත්වීමට පෙර සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව අරගල කළද මේ වන විට එම තත්ත්වය මුළුමණින්ම වෙනස් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.
ගුරු සේවයේ සාමාන්‍ය උපාධිධාරියෙක් බඳවා ගන්නේ 3. I ශේණියට සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නේ ඉන් ඉහළ ශේණියක් වන 2.II ශේණියටය. එවන් තත්ත්වයක් තුළ අධ්‍යාපනය පිළිබඳව කිසිදු ආකාරයේ ප්‍රමිතියක් පවත්වාගෙන නොයන පෞද්ගලික විශ්විද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධිය ලබා ගත් පිරිසකට පත්වීම් ලබා දීම සම්පුරණ වැරදි ක්‍රියාවක්.
එසේම මෙලෙස වැරදි පාරෙන් පැමිණි කණ්ඩායම් වලට පත්වීම් දීම හරහා ආණ්ඩුව සිදු කර ඇත්තේ ගුරු සේවයට පැමිණීමට හොර පාරක් සකස් කිරීම බවත් ඔහු සඳහන් කරයි. මෙලෙස පත්වීම් ලබා ගත් සමහර අයගේ පාඨමාලා කාලය මාස 6ක් අවුරුද්දක් සහ අක්‍රමවත් මාර්ග ගත ක්‍රමවේදයන් වැනි ඉතාමත් අවිධිමත් ආකාරයේ ඒවාය. මේ ආකාරයට සල්ලි වලට අධ්‍යාපනවේදී උපාධිය ලබා ගෙන පැමිණි පිරිසට හොර පාරෙන් පත්වීම් දෙද්දී වසර 4ක කාලයක් ඉගෙන ගෙන ප්‍රායෝගික පුහුණුව ලබාගෙන රජයේ විශ්වවිද්‍යාල වලින් උපාධිය ලබා ගත් අය පත් වීම් නොමැතිව වසර ගණනාවක් පීඩාවට පත්වෙමින් සිටී. මෙහි ප්‍රථිපලයක් ලෙස සුදුසුකම් නොමැති නිසි අධ්‍යාපනයක් නොමැති ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නා ළමයින්ට දැඩි අසාධාරණයක් සහ හානියක් වන බවත් ජෝශප් ස්ටාලින් පවසයි.
ආණ්ඩුව මේ ක්‍රියාව බස්නාහිර පළාත තුළ පමණක් නොව දකුණ සහ උතුරුමැද ඇතුළු අනෙකුත් පළාත් වලද සිදු කරමින් සිටියි. මෙලෙස පත්වීම් ගැනීමට පැමිණි අයගේ සුදුසුකම් පරික්ෂා කර ඔවුන් සම්බන්ධයෙන් රජය පියවරක් ගත යුතු අතර රටේ අධ්‍යාපනය වලපල්ලට යන තීරණ ගැනීම වහා නතර කල යුතු බව ඔහු පවසයි.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා මේ තත්ත්වය පිළිබඳව තේරුම් අරගෙන මීට එරෙහිව පියවර ගන්නා ලෙස ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.
