පරිසර දින සැමරුම හා ප්ලාස්ටික් ඛේදවාචකය

ජිමුත් ඉඳුසර රත්නායක

ජාත්‍යන්තර පරිසර දින සැමරුම අද ට (05) යෙදී තිබෙනවා. පරිසර විනාශය පිළිබඳව දැනුවත් කරමින් පරිසරය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට සහ ඒ සඳහා ලෝක මට්ටමෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කිරීම වෙනුවෙන් මෙම පරිසර දින සැමරුම සෑම වර්ෂයක ම ජුනි 05 වන දින සමස්ත ලෝකය විසින් ම සිදුකරනු ලබනවා.

මෙවර පරිසර දිනය “Beat Plastic Pollution” ( ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය පරදමු ) යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා. මේ තේමාව විසින් අපේ සමස්ත ලෝකයට ම තර්ජනයක් වන ප්ලාස්ටික් අර්බුදයට කඩිනමින් පියවර ගත යුතු බව අපට සංඥා කරනවා. මෙවර පරිසර දිනය සඳහා නිල අනුග්‍රාහකත්වය දරන රට බවට පත්ව තියෙන්නේ දකුණු කොරියාව. දකුණු කොරියාව විසින් මීට සමගාමීව දැනටමත් ප්ලාස්ටික් හරහා වන පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා විසඳුම් හා නවෝත්පාදන වේගවත් කිරීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ( UNEP ) ප්‍රමුඛ ම ව්‍යාපාරයක් වන මෙම පරිසර දින සැමරුම 1973 සිට සෑම වසරකට ජුනි 05 වන දින සමරනු ලබනවා. ස්වභාවධර්මය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ ගෝලීය වශයෙන් දැනුවත් කිරීම, ප්‍රජාවන් සහ රාජ්‍යයන් අර්ථවත් පාරිසරික ක්‍රියාමාර්ග ගැනීමට දිරිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන මෙම පරිසර දින සැමරුම, සෑම වසරකම සමස්ත ලෝක පරිසර පද්ධතීන්ට හා ප්‍රජාවට බලපෑම් කරනු ලබන පාරිසරික ගැටළුවක් ඉස්මතු කිරීම සඳහා නිශ්චිත තේමාවක් තෝරා ගැනීම සිදුකරනවා.

1972 දී ස්ටොක්හෝම් හි පැවති මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව අවස්ථාවේ දී ජුනි 05 ලෝක පරිසර දිනය ලෙස තෝරා ගන්නා ලද අතර එම තීරණය ජාත්‍යන්තර පාරිසරික ප්‍රතිපත්තියේ ආරම්භය වෙනුවෙන් බලපෑ ප්‍රමුඛ තීරණයක් බවත්, ඒ අනුව ලෝක පරිසර දිනයේ පළමු සැමරුම 1973 දී “Only One Earth” යන තේමාව යටතේ පැවැත් වූ බවත්, එතැන් සිට එය රටවල් 150 කට අධික සංඛ්‍යාවක ප්‍රජාවන් මිලියන ගණනක් විසින් සමරන පාරිසරික සම්බන්ධතා සඳහා විශාල ම ගෝලීය වේදිකාව බවට පත්ව තිබෙන බවත් සඳහන් වෙනවා.

ලෝකයේ ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සඳහා වන ගෝලීය උත්සාහයන් දිරිමත් කිරීම, ප්ලාස්‍ටික් වෙනුවට තිරසාර විකල්ප ප්‍රවර්ධනය කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවධානය යොමු කිරීම, ජාත්‍යන්තර මට්ටමින් ප්ලාස්ටික් දූෂණය විසඳීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග දිරිමත් කිරීම ආදී අරමුණු කේන්ද්‍රගත කරගත් මෙවර පරිසර දිනය විසින් පරිසර පද්ධති, මිනිසුන්ගේ සාමාන්‍ය සෞඛ්‍යයට හා ජෛව විවිධත්වයට තර්ජනයක් වී ඇති සාගර, මහාමාර්ග, නගර, ගම්, තට්ටු නිවාස, සාමාන්‍ය නිවාස ආදී සෑම තැනකම දක්නට ලැබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පාලනය කිරීම හා ලෝකයෙන් තුරන් කිරීමට විද්‍යාත්මක පාරිසරික විසඳුම් යෝජනා කිරීම හා ක්‍රියාත්මක කිරීම අරමුණු කර තිබෙනවා.

මීට සමගාමීව ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී අද උදෑසන 09.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර Clean Sri lanka ව්‍යාපෘතිය හරහා මෙන් ම අනෙකුත් විධිවිධාන යොදමින් මෙකී පරිසර සංරක්ෂණය ප්‍රායෝගිකව සිදු කරමින් සෞඛ්‍ය සම්පන්න ලෝකයක් තැනීමේ වගකීම හා වගවීම ආණ්ඩුවට පවතින බවත් අප අමතක කළ යුතු නෑ.

පාරිසරික හානිය අවම හෝ දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි නිෂ්පාදන භාවිතය, ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් දිරිමත් කිරීම, ප්ලාස්ටික් දූෂණය සහ අපගේ සෞඛ්‍යය සමඟ ඇති ඍනාත්මක සම්බන්ධය පිළිබඳව සමාජය දැනුවත් කිරීම ආදී ක්‍රියාමාර්ග පුරවැසියන් වශයෙන් අපිට ගත හැකි ක්‍රියාමාර්ග බවත් අප මතක තබා ගත යුතු යි.

පරිසරය අපි රකියි – රකිමු අපි පරිසරය

Author

Related Posts