යුද්ධය පැවති කාලසීමාවේදී ශ්‍රී ලංකාව අතහැර ඉන්දියාවට යෑමට සිදු වූ දේශපාලන සරණාගතයන්ට යළි මෙරටට පැමිණීමේදී දැනට පවතින නීතිමය බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා පවතින ආගමන විගමන නීති සංශෝධනයටත්, කඩිනම් කැබිනට් අනුමැතියක් ලබා ගැනීමටත් මේ වන විට පියවර ගනිමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.
යුද්ධය පැවති සමයේ දී උතුරේ ජීවත් වූ ජනතාව යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර ඔවුන් මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වනවා. ඉන්දියානු රැකියා ලබාගැනීමට මෙන්ම ඉන්දියානුවන් ලෙස ජීවත් වීමට ඔවුන්ට ගැටලු පවතිනවා. මෙලෙස ඉන්දියාවට ගොස් පදිංචිව සිටින්නේ යුද්ධයේදී අවතැන් වූ දරිද්‍රතාවයෙන් පෙළෙන සාමාන්‍ය ජනතාව. යුද්ධයේදී ඉන්දියාවට ජීවිතාරක්ෂාව පලා ගිය ඔවුන්ට යුරෝපය හෝ වෙන කිසිදු ස්ථානයකට ගමන් කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. මෙලෙස ඉන්දියාවට ගිය පිරිස් අතරින් විශාල පිරිසක් මලයග දෙමළ ප්‍රජාවටත් අයත් වෙනවා.
එම පිරිසට යළි ලංකාවට පැමිණීම සඳහා පවතින ආගමන විගමන නීතී බාධාවක් වී ඇති බැවින් එම නීතී සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.
ඒ අනුව කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.
