ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් නිල රාජකාරීවලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධව හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා අද නියම කළේ ය.
2010 සිට 2014 දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයින් මෙලෙස සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගත් අතර වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළේ ය.
