මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි පවසන “ෆූගෝ ඔලින්” නැමැති නීති විරෝධී පිරමීඩාකාර සමාගමේ මාස පහක කාලයක් අධ්යක්ෂක ධූරය දැරූ මනම්පිටියේ තරුණයකු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (30) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එරන්ද දිල්ෂාන් සමරජීව නමැති සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් හා පොලිස්කොස්තාපල් කරුණු දක්වමින් කියා සිටියේ, කොළඹ කොච්චිකඩේ ප්රදේශයේ පවත්වාගෙන ගිය පිරමීඩාකාර සමාගමේ මාස පහක කාලයක් අධ්යක්ෂක ධූරය දරා ඇති සැකකරු රුපියල් ලක්ෂ 43ක් වැටුප් ලෙස ලබාගෙන ඇති බවයි.
එම කාලය තුළ සැකකරුගේ බැංකු ගිණුම් හරහා ජනතා මුදල් රුපියල් කෝටි 250කට අධික මුදලක් භාරගෙන වංචා කර ඇති බවත්, මොහු සමග කටයුතු කළ සෙසු අධ්යක්ෂකවරුන් හා ආයතනය හිමිකරුවන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්,කරුණු ඉදිරිපත් කළා.
මෙතෙක් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව සැකකාර අධ්යක්ෂකවරයා හෝ මෙම සමාගමේ අයිතිකරුවන් කවුද යන්න පිළිබඳව නොදන්නා බවත්, ඔවුන් ශ්රී ලාංකිකයන්ද විදේශිකයන්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවත් පවසනවා.
සැකකාර අධ්යක්ෂකවරයාට අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව ඔහු පිරිමිඩාකාර සමාගම පවත්වාගෙන ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් හා පොලිස්කොස්තාපල් සඳහන් කළා.
