විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන කෙහෙල් බද්දර පද්මේ නැමැත්තාට විදේශ ගමන් බලපත්‍ර සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථන හා පරිගණක රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හත් දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් ය.
මෙම නඩුකරයට පාදක වන විදේශ ගමන් බලපත්‍ර මෙන්ම තවත් විශාල විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් මෙම ජාලය හරහා නීති විරෝධී ලෙස සකස් කරන්නට ඇතැයි සැක කෙරෙන බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියා.
මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ පුද්ගල නිදහස මෙන්ම විමර්ශන සිදුකිරීම සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබාදීම යන කරුණු තුලනාත්මකව සලකා බලා මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
මෙය ඉතා සංවේදී විමර්ශනයක් යැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබාදිය යුතු බව සඳහන් කළා.
ඒ අනුව විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කරනු ලැබුවා.
