ඉල්ලීම් නොතකපු නලින්දගේ හිතුවක්කාර පත්කිරීම්වලට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්! හෙට කරන්න සිටි පත්වීම් ඇණහිටී

සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව වෛද්‍ය රසායනාගාර භෞත චිකිත්සක තනතුරු පිරිනැමීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (27) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

පෙත්සම යළි ලබන 11 වනදා කැඳවීමට නියමිත අතර එදින තෙක් මෙම පත්වීම් ලබාදීමට අදාළව දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා ලෙසත් අධිකරණය විසින් කළ නියෝගයේ දැක්වෙයි.

මේ වන විට සම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීමට පෙළැඹී ඇත්තේද බඳවාගැනීමේ පටිපාටිය පිළිබඳ වෘත්තියන්ගේ යෝජනා සහ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් නොතකා නලින්ද ජයතිස්ස ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව හිතුවක්කාර ලෙස කටයුතු කරන බව පෙන්වාදෙමිනි. එම ඇතැම් පත්වීම් මැයි 28 වැනිදා සිදු කිරීමට නියමිතව තිබුණි.

මෙම පත්වීම් පිරිනැමීම හේතුවෙන් අසාධාරණයට පත්වන උපාධිධාරින් 270 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

විදේශීය හා පුද්ගලික විශ්වවිද්‍යාලවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මේ හරහා අවස්ථාව ලැබෙන බවත් ඒ තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ පත්වීම් පිරිනැමීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Author

Related Posts