ඊශ්‍රායලය, ඉන්දියාව, රුසියාව සහ යුක්රේනය වැනි රටවලින් පැමිණි විදේශීය ජාතිකයින් විශාල පිරිසක් නීති විරෝධීව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මෙහෙයුම් සහ රැකියාවල දිගටම නිරත වන බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නියම කර ඇති මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් නිකුත් කරන ලද වීසා බලපත්‍ර උපයෝගී කරගනිමින් මෙයාකාරයෙන් කටයුතු කරන බව ඔවුන් වාර්තා කර තිබේ.
සංචාරක අමාත්‍යාංශයේ නිලධාරියෙකු ‘ඩේලි මිරර්’ පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු සඳහා පැමිණෙන විදේශීය ජාතිකයින්ට හෝ සත්කාරක කර්මාන්තයේ ආයෝජන සහ රැකියා සඳහා වීසා නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුගමනය කළ යුතු දැඩි මාර්ගෝපදේශ මාලාවක් නියම කර ඇති බවයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සූපවේදීන්, කළමනාකරුවන් සහ චිකිත්සකයින් වැනි කාණ්ඩ යටතේ සත්කාරක කර්මාන්තයේ සේවය කිරීම සඳහා විදේශීය ජාතිකයින්ට වීසා නිර්දේශ කරනු ලබන බව ඒ අනුව වාර්තා වේ. ඒ අනුව තෝරාගත් ප්‍රමිතියකින් යුක්ත හෝටල්වල සහ ආපනශාලාවල පමණක් විදේශ ජාතිකයන් සේවයේ යෙදවීමේ අවසරය ලබා දී තිබේ. එහෙත්, කුඩා ආපනශාලාවල පවා විදේශිකයන් රැකියාවල යෙදෙන බව වාර්තා කර තිබේ. එමෙන්ම ඔවුන්ගේ සේවායෝජකයන් වන විදේශීය ආයෝජකයන් සංචාරක සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශවලින් රිංගා ගොස් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වීසා ලබා ගනිමින් සිටින බවද එම නිලධාරියා කියා ඇත.
මේ ආකාරයේ දූෂණ ක්‍රියා සිදු නොවීමට මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටින බවද එම වාර්තාවේ සඳහන් වෙයි. මෙලෙස ගෙන්වන විදේශීය සේවකයන් තමන්ගේම රටේ පුද්ගලයන්ට සේවා සැපයීමත්, එම සේවාවලට ඉලෙක්ට්‍රොනික් ක්‍රම හරහා ඒ රටවල මුදල් ඒකකවලින්ම ගෙවීම් ලබාගැනීමත් නිසා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ආදායම් අහිමි වන බවත් එම ආරංචිමාර්ග කියා තිබේ.
