දුමින්ද අද අධිකරණයට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි හිටපු අමාත්‍යවරයා‍ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තා. 

ඊයේ අත්අඩංගුවට ගත් ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය අඟහරුවාදා කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ මෙම ගිනි අවියක් සොයා ගෙන තිබුණා. 

ඒ අනුව, අත්අඩංගුවට ගත් 69 හැවිරිදි අදාළ කාන්තාව සහ ඇගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවගෙන් වැල්ලවත්ත පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබූ අතර ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබුණේ අදාළ අවිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි. 

අනතුරුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි. 

ඒ අනුව මෙම රන් පැහැ ගැන්වූ ගිනි අවියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය කරගෙන තිබූ අතර පසුව ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා. 

සැකකාර හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියක වූ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට මෙය යවා ඇති බවට පොලිසිය හෙළි කරගෙන තිබුණා.

Author

Related Posts