පාරාටේ නීතියට මුවාවෙලා බැංකු දේපල පවරගෙන

‘පරාටේ’ නීතියට මුවා වී බැංකු කූට ලේඛන සකස් කොට ණය හිමියන්ගේ දේපළ පවරා ගන්නා බවත් මේ සම්බන්ධව අදාළ බැංකුවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවර්ම සඳහා නීතිඥ සහාය ලබා ගනිමින් සිටින බවත් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මව්බිම පුවත්පතට පවසා තිබෙනවා.

මෙම නඩුවට අදාළ සියලු තොරතුරු රැස්කර එම ලියකියවිලි ලබන 29 වන දා අදාළ නීතිඥවරුන්ට භාර දී නඩුව ගොනුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා තිබුණා.

බැංකුවට දේපළ ඇපයට තබා මුදලක් ලබා ගැනීමේදී එම බැංකුවලින් හිස් කොළවලට අත්සන් ලබාගෙන තිබෙන බවත් මෙය සම්පූර්ණයෙන් ම අසාධාරණ තත්ත්වයක් බවත් ඔහු කියා සිටියා.

බැංකුව කෙරෙහි ඇති දැඩි විශ්වාසය මත පදනම් වී ණය හිමියන් හිස් කොළවල අත්සන් ලබා දී තිබෙන නමුත් බැංකුවලින් නීතියට පටහැනිව දේපළ පවරාගෙන වෙන්දේසි කරන බවටත් ඔහු චෝදනා කළා.

ඒ අනුව අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් සහනයක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ණය ගෙවීමට නොහැකි වූ අයගේ දේපළ බැංකුවලින් වෙන්දේසි කිරීමේදී කිසිවෙක් එම දේපළ මිලදී නොගතහොත් එම දේපොළ රුපියල් 1000කට පවරා ගැනීමට පරාටේ නීතිය යටතේ බලය ඇති බවත් ඒ අනුව නිසි තක්සේරුකරු වටිනාකමක් නොලැබෙන බවත් ඔහු පවසා තිබෙනවා.

එසේ ම එම වෙන්දේසියේදී ඉඩම හෝ දේපළ විකුණා ලැබෙන ඉතිරි මුදල සතියක් ඇතුළත ණය හිමියාට ලබා දිය යුතු නමුත් එය කිසිදු බැංකුවකින් සිදු නොවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

බැංකුවලින් දේපළ පවරා ගැනීම හේතුවෙන් අසාධාරණයට මුහුණ දී සිටින ජනතාව 20,000කට අධික බව ත් ආණ්ඩුව ඒ ගැන වගේ වගක් නැතිව සිටින බව ත් ඔහු පවසනවා.

එහෙත් ‘පරාටේ නීතිය’ වෙනස් කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරණයට පෙර ජනාධිපතිවරයා පොරොන්දු වී සිටි නමුත් එය අද බොරුවක් බවට පත්වී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබුණා.

Author

Related Posts