පැරණි මැතිවරණ ක්රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කෙටුම්පත් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම් පනත ගැසට් කර තිබෙනවා.
එම පනත සම්මත වුවහොත්, පළාත් සභා ඡන්ද විමසීම වහා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව ලැබෙනවා. මෙම පනත් කෙටුම්පත ෂානක්කියන් රාජපුත්තිනරන් රාසමාණික්කම් පාර්ලිමේන්තු මන්ත්රීවරයාගේ පෞද්ගලික මන්ත්රී කෙටුම්තක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
එම පනත වගන්ති තුනකින් සමන්විත වන අතර, පනතේ ලුහුඬු නාමය සහ පනතේ සිංහල සහ දෙමළ භාෂා අතර අනනුකූලතාවක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය යන වගන්තිය හැර ඇත්තේ එක් වගන්තියක් පමණයි.
‘2017 සැප්තැම්බර් 21 දිනට බලාත්මකව පැවති 1988 අංක 02 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන, එකී පනතට 2017 අංක 17 පනත මගින් සිදු කරන ලද සංශෝධන නොතකා, 2017 සැප්තැම්බර් 22 වන දිනෙන් ආරම්භව මේ පනත ක්රියාත්මක වීම ආරම්භ වන දිනය දක්වා වූ කාලසීමාව තුළ දී සිදුකරන ලද යම් ක්රියාවක්, එම ක්රියාව 1988 අංක 2 දරණ පනතේ විධිවිධාන සමග අනනුකූල නොවන තාක් දුරට, එම ක්රියාවට අගතියක් නොවන පරිදි, මේ පනත බලාත්මක වන දින සිට ක්රියත්මකභාවයට පත් විය යුතුය.‘ යනුවෙන් එම වගන්තියේ සඳහන්.
ඒ පනත අනුව මෙතෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී තිබෙන, පළාත් සභා පනතට එක් කර තිබුණු සංශෝධන අවලංගු වන අතර, වසර 10කට වැඩි කාලයක් තිස්සේ නොපැවැත්වූ පළාත් සභ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අවස්ථාව හිමි වෙනවා.
