ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස ලංකා බැංකුව 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් තිබෙනවා.
එමෙන්ම, 2023 වසරේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලැබු රුපියල් බිලියන 4.2ක ලාභය 2024 වසර වන විට රුපියල් බිලියන 26.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිව තිබෙනවා.
ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම ඊයේ (22) සිදු කෙරුණා.
ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
මෙහිදී, අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ මෙම ලාභය බදු පැනවීමට පෙර ලබා ගත් ලාභය බවයි.
ව්‍යාපාර සංවර්ධනය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ මූල්‍ය ආයතනයක් ලෙස ලංකා බැංකුව ප්‍රමුඛත්වය ගෙන තිබෙන බවද ඔහු පවසා තිබෙනවා..
එමෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ, මෙවන් සාර්ථකත්වයක් ලබා ගැනීමට රට තුළ පවතින ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය ඉවහල් වු බවයි.
රාජ්‍ය ආයතන රජයට හෝ මහාභාණ්ඩාගාරයට බරක් නොවී විධිමත් කළමනාකරණයක් තුළින් ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවට මෙය කදිම නිදසුනක් බවත් 2025 වසරේදී මින් ඔබ්බට ගිය සාර්ථකත්වය ලබා ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේක්ෂා කරන බවත් ඔහු පවසා තිබෙනවා.
2025 වසරේදී ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව තම ඩිජිටල් යටිතල පහසුකම් හා පරිභෝගික සේවාවන් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවද මෙහිදී සභාපතිවරු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙහිදී රාජ්‍ය බැංකු දෙකක් ලෙස ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කෙටි කලක් තුළ ලබා ගෙන ඇති මෙම ජයග්‍රහණය ඇගයිමට ලක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපායමාර්ගික නායකත්වය, කැපවීම සහ විධිමත් කළමනාකරණය තුළින් රාජ්‍ය ආයතන මෙරට ආර්ථික වර්ධනයට ධනාත්මක ලෙස දායක කර ගත හැකි බවත්, මෙම බැංකු දෙක ලබා ඇති ප්‍රගතිය තුළින් එය මැනවින් පිළිබිඹු වන බවත් පවසා තිබුණා.
