මට පරචිත්ත විඥානය නැහැ-හඳුන්නෙත්ති

කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වැසීම විශාල මාතෘකාවක් බවට පත්ව ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ අනුව, වසා ඇත්තේ එහි එක කොටසක් පමණක් වන මැහුම් අංශය පමණක් බවත්, එය සමස්ත ඇඟලුම් කර්මාන්තයම වැසී යාමක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.

නමුත් අද උදෑසන ‘නයි නාලිකාවේ පත්තර වැඩසටහන’ කියා සිටියේ මුළු ඇඟලුම් කර්මාන්ත අංශයම විනාශ වී, සමස්ත ව්‍යවසායකත්වයම කඩා වැටී ඇති ආකාරයට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට සිදුව ඇත්තේ ‘නයා මැරුණු අහිකුණ්ඨකයාට සිදුවූ දේ’ බවද, ඔහුගේ ලොකුම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොටසක් වැසීයාම බවද ඔහු පවසා සිටියා.

අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව වැසීමට පෙර ආයෝජන මණ්ඩලය හෝ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කළේද යන්න‍ සොයා බැලිය යුතු බවත්, කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ඔවුන් තමන් සමඟ සාකච්ඡා නොකළ බවත්, තමන්ට ‘පරචිත්ත විඥානය’ නොමැති බවත්, ඔවුන්ගේ ආයතනයේ කොටසක් පාඩු ලබන විට තමාගේ පඬුපුල් ආසනය උණු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Author

Related Posts