ශ්‍රිලංකන්හි අක්‍රමිකතා හොයන්න කමිටුවක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර ඊට අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළඟාකර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.

ඒ අනුව මුල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ආයතනයක් ලෙස ගොඩනැංවීමට එහි සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා කැපවීම ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

සාමූහික මැදිහත්වීමක් නොමැතිව  ශ්‍රීලංකන් ගුවන් සමාගම ගොඩනැඟිය නොහැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා,  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන හිමි නොවන පසුබිමක, ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙන බව සඳහන්.

දේශපාලන අධිකාරිය ලෙස මෙරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කළයුතු සියලු කැපකිරීම් සිදු කරන බවත්, එලෙසම ශ්‍රීලංකන් ගුවන් සමාගම ගොඩනැඟීම එහි සියලු කාර්‍යමණ්ඩලයේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසු බව සඳහන් වනවා.

මෙවර අයවැයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රු. බි. 20ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙය මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බැවින් එම සියලු මුදල් ඵලදායීව යෙදවීම සියලුදෙනාගේ  වගකීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

රජයේ හිමිකාරීත්වය යටතේ ශ්‍රීලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරමේ රජයේ අරමුණ  ඉටු කර ගැනීම වෙනුවෙන්  වෘත්තීය සමිතිවල පූර්ණ සහාය ලබා දෙන බවත්, එය තමන්ගේද මූලික අභිප්‍රාය බවත් මෙයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපතිවරයා ඉදිරියේ සහතික වී තිබෙන බවයි පැවසෙන්නේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගණේගොඩ මහතා ඇතුළු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රීලංකන් ගුවන් නියමු සංසදය, ගුවන් සේවක සංගමය, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රීලංකන් ගුවන් සේවා ගුවන්යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය, ගුවන්යානා ඉංජිනේරු සංසදය, ශ්‍රීලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ්‍රීලංකන් ගුවන් සේවා විධායක සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව තිබුණා.

Author

Related Posts