හිටපු මැති, ඇමතිලා ගැන ආනන්ද විජේපාලගෙන් බරපතළ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණේ හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය හිටපු සහ දැනට සිටින දේශපාලන චරිත, ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමග සෘජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම වැඩිපුර අපරාධ සිදුවන පොලිස් කොට්ඨාස පනස් දෙකක් හඳුනාගෙන තිබෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :

“අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් කටයුතු කෙරෙනවා. මේ වන විට දිවයින පුරා වැටලීම් කෙරෙනවා. රාත්‍රී මුර සංචාර කෙරෙනවා. ජංගම සංචාර කෙරෙනවා. හදිසි මාර්ග බාධක යොදා තිබෙනවා. අසංවිධානාත්මක අපරාධ ක්‍රියා වැළැක්වීම මෙන්ම ඒවායේ නිරත වන අය නීතිය ඉදිරියට පැමිණවීම  සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා”

Author

Related Posts