මෙරට භෝග වලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය සිදු කොට දෙමසක් පිරුණත් එහි කිසිදු සංගණන වාර්තාවක් මේ වනතෙක් පිටවී නැහැ.
2025 මාර්තු 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි 15ක් වන සත්ව සංගණනය පැවැත්වුණු අතර ජන සහභාගීත්ව සංගණනයක් ලෙස එය සිදු කෙරුණා.
රිලවා, වඳුරා ,දඬුලේනා සහ මොනරා යන දිවා කාලයේ සැරිසරන වන සතුන් වර්ග හතර පිළිබඳව මෙහිදී සංගණනයට ලක්වුවා.
අදාළ සංගණනයට පෙර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකාදිප පුවත්පතට පවසා තිබුණේ ගම් මට්ටමින් සිටින රජයේ නිලධාරීන් වන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරීගේ අධීක්ෂණය යටතේ ජනතාවගේද සහයෙන් අදාළ සංගණනය කරන බවයි.
වන සතුන් පිළිබඳ අදාළ දත්ත පිරවීම සඳහා ජනතාවට පත්රිකාවක්ද බෙදා දෙනු ලැබූ අතර එම දත්ත පත්‍රිකා ගමේ රාජ්‍ය නිලධාරීන් විසින් එකතු කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට යොමු කරන බවත් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ලබා ගැනෙන දත්ත කොළඹ එක් ස්ථානයකට ලබා ගන්නා බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සංගණනයට පෙර සඳහන් කර තිබුණා.
අදාල දත්ත අනුව වැඩිපුර සතුන් ඉන්නා ප්‍රදේශ හඳුනාගෙන වන සත්ව ගැටලුව විසඳීමේදී එම දත්ත ප්‍රයෝජනයට ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පසා තිබුණෙ”අපිත් වාර්තාව නිකුත් කරනකං තමයි බලා ඉන්නේ ” යනුවෙෙ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පවසා තිබුණේ අදාළ සංගණනය සඳහා වැය වූයේ රුපියල් ලක්ෂ විසිහතරක් පමණ මුදලක් බවයි.
අදාළ වන සත්ව සංගණනයේ දී ඇතැම් තැන් වල දත්ත ලබා ගැනීමේදී දෝෂ කීපයක් වාර්තා වූ බවත් එය නිවැරදි කර ගැනීමෙන් පසුව අදාල දත්ත වාර්තාව එළිදක්වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
