පාස්කු සිද්ධියේ ඇප මත සිටි පිරිසක් චෝදනාවලින් නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි පිරිමි පුද්ගලයින් දසදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග ක‍ර තිබෙනවා. 

සැකකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් 2020 දෙසැම්බර් 11 වන දින අධිකරණයට මූලික වාර්තාවක් ඉදිරිපත් කර අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර, උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා. 

එහිදී පොලීසිය විසින් අධිකරණයට දන්වා සිටියේ නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව අදාළ සැකකරුවන් මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාරයේ තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසද ඉල්ලා තිබෙනවා.

ඒ අනුව අදාල භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Author

Related Posts