ජනසංහාරයක් වුණේ නෑ! ජන සංහාර සතියේ මාලිමා රජයෙන් නිවේදනයක්

මෙරට අවසාන යුද්ධයේදී ජනසංහාරයක් සිදු වූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ඒවා පදනම් විරහිත බවත් ජාතික ජන බලවේග රජය පවසනවා.

අවසාන යුද්ධයේදී මානව හිමිකම් කඩ වූ බවට චෝදනා සහ ඒ පිළිබඳ වාර්තා රැසක් තිබියදී රජය මෙම ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලාංකික දෙමළ සමාජය අවසන් යුද්ධයේදී සිදු වූ අපරාධ පිළිබඳ සාධාරණ විමර්ශනයක් ඉල්ලා සිටින පසුබිමක රජය මෙම මතය නිකුත් කර තිබෙනවා.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකින් මේ බව පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

රජය එසේ නිවේදනය කළත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය, ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු මෙම විෂයට අදාල සියලු පිළිගත් ආයතන අවසන් යුද්ධයේදි සිදුවූ අපරාධ පෙන්වා දී තිබෙනවා. ඊට අමතරව යුධ සමයේ හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙන්ම යුධ සමයේ සිටි හමුදාපති සරත් ෆොන්සේකා අඩුවැඩි වශයෙන් අපරාධ පිළිගෙන තිබෙනවා.

එහෙත් ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබාගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරන බවත් උක්ත නිවේදනයේ සඳහන් වනවා.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙලෙස තම විරෝධතා පළ කර සිටියා.

මෙම ඉදිකිරීම කැනඩාවේ වෙසෙන දෙමළ ශ්‍රීලාංකිකයන් පිරිසක් විසින් ඉදිකර තිබුණා.

ප්‍රධාන ඡායාරූපය – මාධ්‍යවේදී කුමනන් විසින් ලබාගත්, ජනසංහාර සතිය වෙනුවෙන් උතුරේ කුඩා දැරියක් කැඳ පානය කරන ඡායාරූපයකි.

Author

Related Posts