තරිඳු උඩුවරගෙදර
සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග පළාත් පාලන ආයතනවල බලය උදෙසා සන්ධානගතවීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අප සමඟ පැවසීය.
එසේ වුවද, ඒ ඒ පළාත් පාලන ආයතන මට්ටමින් විපක්ෂයට බලය පිහිටුවීමට අවැසි මොහොතක නිහඬව සිටිමින් සහයෝගය ලබා දෙන බවද ඔහු කීය.
ඔහු මේ බව පැවසුවේ දූරකථනයෙන් අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර තිබෙන සාකච්ඡාවලට ඉදිරියේදී සම්බන්ධ වන්නේදැයි අප කළ විමසීමකදී එවැන්නක් සිදු නොවන බව පෙන්වාදෙමින් ඔහු ඉහත කරුණු පැවසීය.
ඔහු එහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, ජාතික ජන බලවේගයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් විපක්ෂයට පවතින අවස්ථාවලදී විපක්ෂයේ දේශපාලන පක්ෂවලට බලය පිහිටවීම සඳහා සහයෝගය දැක්විය හැකි බවයි. එහෙත්, එය නිහඬව සිදුවන බවත් සන්ධානගතව ඒ ආයතනවල බලය පවත්වාගෙන යෑමට කටයුතු නොකරන බවත්ය.
ඔහු එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වමේ පක්ෂයක් බව ප්‍රකාශ කළ අතර, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සමඟ ප්‍රතිපත්තිමය නොගැලපීම් පවතින නිසා එක්ව කටයුතු කළ නොහැකි බව කීය.
