දුර්වලකම් තියෙන්න පුළුවන්! ඒ යථාර්තය! ඉවසන්න වෙයි! – මාළිමාවේ ලේකම් නිහාල් අබේසිංහ

මේ වන විට රාජ්‍ය සේවයේ පත්ව සිටින අයගේ දැනුම, ආකල්ප සහ පිරිස් පාලනයේ දුර්වලකම් තිබිය හැකි බවත් මුලින් පැමිණි නිලධාරීන් තුළ එවැනි ලක්ෂණ පවතින බවත්, එය යථාර්තය බවත් ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ පවසනවා.

ජනතාවට යම්කිසි ප්‍රමාණයකට ඉවසීමෙන් සිටීමට සිදුවන බවත්, තමන් පුද්ගලිකව කැමති දේ කරගැනීමට අසීරු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ දිනමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.

වත්මන් ආණ්ඩුව සමයේ පත් වූ රජයේ නිලධාරීන්ගේ අඩුපාඩු පිළිබඳ විමසීමේදී ඔහු මෙසේ කියා තිබුණා.

“සමහරවිට මේ කළ වෙනස්කම් සමඟ පත්වූ අයගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ අයගේ අත්දැකීම්, පුහුණුව, ඒ ඒ විෂයයන් පිළිබඳව තිබෙන දැනුම, ආකල්ප සහ පිරිස් පාලනයේ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඕනෑම ආයතනයකට මුලින්ම පැමිණි නිලධාරීන් තුළ එය තියෙන්න පුළුවන්. රාජ්‍ය ආයතනයකට පත්වන ඕනෑම නිලධාරියෙක් පළමු වරට ඒ ආයතනයට පත්වන විට යම්කිසි කාලයක් ගන්නවා, ඒ ආයතනය පිළිබඳව තේරුම් අරගෙන, ඒ ආයතනයට ගැළපෙන විදියට කටයුතු කරන්න. මේක තමා යථාර්ථය. මේ යථාර්ථයට මුහුණ දෙන්න සූදානම් නැති සමාජ පසුබිමක් නිසා තමයි මේ විදියට ව්‍යාකූල තත්ත්වයන් මතු වෙන්නේ.

මේ රාජ්‍ය සේවය පිළිබඳව අවුරුදු විසි හතක අත්දැකීම මට තියෙනවා. අපි හැම කෙනෙක්ම එදිනෙදා ජීවිතයෙන් ලබාගන්නා අත්දැකීම්, දැනුම සහ ඉගෙනුම හරහා තමයි, ඒ ආයතන හසුරුවන්නේ. ඒකට යම්කිසි කාලයක් ගන්නවා. එය තේරුම් ගන්නේ නැත්නම් අපට ඒකට කරන්න දෙයක් නෑ. මේවා රාජ්‍ය යන්ත්‍රණ නිසා නිලධාරීන් පත්කිරීමට, මාරු කිරීමට සහ ඉවත් කිරීමට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඉදිරියේදී අපට යම්කිසි කෙනෙක් හඳුනාගැනීමට හැකිවුණොත් ඔහු ඒ තැනට සුදුසු නෑ කියලා, අපි අවශ්‍ය පියවර ගන්නවා.”

ජනතා බලාපොරොත්තු රාශියක් මැද බලයට පත්වූ ජාතික ජන බලවේගයට ජනතාවට දැනෙන යමක් කරන්න නොහැකි වූ බවට විපක්ෂය නිරන්තරයෙන් චෝදනා නඟන බව පෙන්වාදුන් මොහොතේ ඔහු මෙසේ ප්‍රකාශ කර තිබුණා.

“දැනෙනවා කියන දෙය සාපේක්ෂයි. ඔබට දැනෙන දේ මට නොදැනෙන්න පුළුවන්. එනිසා දැනෙනවා කියන දේ අපට නිශ්චිත නෑ. ජනතාවට බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ විවෘත ආර්ථික ක්‍රමය තුළ සෑම දෙයක්ම තරගකාරී වගේම සෑම කෙනෙක්ම තමන් කැමැති දෙය තමා බලාපොරොත්තු වෙන්නේ. එනිසාම තමන් කැමැති දේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් තරග කරනවා. සටන් කරනවා. ඒක තමා යථාර්ථය. ඒ යථාර්ථයට මුහුණ දීමේදී අපේ ඡන්දදායකයන් සහ පොදුවේ රටේ ජනතාව වෙනුවෙන් මැදිහත්වන දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි අවුරුදු ගණනක් පුරා ඒ වෙනුවෙන් කැප වුණා. ඒ වෙනුවෙන් සටන් කළ ව්‍යාපාරයක්. මේ සියලු ක්‍රියාමාර්ග ගත්තේ ඒ ඒ ජන කොටස්වලට සහන සැලසීමට. එසේ නොමැතිව පෞද්ගලික සහන සලසන්න අපි කටයුතු කර නෑ. ඒක අපි පිළිගන්නවා. පොදු ජනතාව ගත්තොත්, කම්කරු ජනතාව ගත්තොත්, රාජ්‍ය සේවකයා ගත්තොත්, වෘත්තිකයා ගත්තොත්, ආගමික ප්‍රජාව ගත්තොත් අපි ඒ සෑම ක්ෂේත්‍රයකම සිටින පිරිස ගැන හිතලා අපට කරන්න පුළුවන් උපරිම මැදිහත්වීම මේ පසුගිය මාස හය ඇතුළත කරමින් සිටිනවා. කරලා ඉවර නෑ. තව අවුරුදු හතර හමාරක් තියෙනවා.

එනිසා අපි ජනතාවට කියන්නේ යම්කිසි ප්‍රමාණයකට ඉවසීමෙන් ඉන්න වෙයි. මොකද, තමන්ට පෞද්ගලිකව කැමැති දේ සමහරවිට මේ ආණ්ඩුවෙන් කර ගන්න අමාරු වෙයි. උදාහරණයක් ගත්තොත් මම මන්ත්‍රීවරයෙක් හැටියට මාස පහක් කටයුතු කර තියෙනවා. කිසිම පාසලකට ළමයෙක් ඇතුළත් කර දෙන්න කියලා මට ඉල්ලීමක් ලැබී නෑ. පොලීසිය පිළිබඳවත් මට ලැබුණේ පැමිණිලි දෙකයි. ඒ කියන්නේ අපේ දේශපාලන සදාචාරයට ජනතාව හුරුවෙමින් සිටිනවා කියන එකයි. ඒ වගේම අපේ දේශපාලන සදාචාරය ජනතාව ඉගෙන ගනිමින් සිටිනවා. මේ ධනාත්මක පිවිසීමක්.

මේ දේශපාලන ව්‍යාපාරය 2020 සිට කටයුතු කරනකොට අපට ඡන්ද තිබුණේ සියයට තුනයි. සියයට තුනේ සිට සියයට හැට දෙක දක්වා 2024 නොවැම්බර් වෙනකොට අපි ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් වීම සිදු වුණේ විවිධ දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් පිරිස අප වෙත නැඹුරු කරගත් නිසයි. නමුත් අපෙන් ලැබෙන දෙය ඔවුන්ට ප්‍රමාණවත් නොවන්න පුළුවන්. එලෙස ඔවුන් දේශපාලන පක්ෂ අතහැර අපත් එක්ක ඇවිත් ඔවුන් බලාපොරොත්තු වූ දේ ඉෂ්ට නොවෙන කොට අපව විවේචනය කරනවා. අපට විරුද්ධ වෙනවා. අපව අත්හැර යනවා. ඒ යථාර්ථය. අපි එයට මුහුණදෙමින්, ශක්තිමත්ව ඉදිරි අවුරුදු හතරහමාර ජනතාවට දැනෙන වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. එය කළ හැකි බව මේ වන විටත් අපේ කැපවීම තුළ ජනාධිපතිතුමා, අගමැතිනිය, කැබිනට් මණ්ඩලය සහ සියලු මන්ත්‍රීවරුන් ඔප්පු කර තියෙනවා. රටට අලුතින් පත්වූ මන්ත්‍රීවරුනුත් ඒ සදාචාරාත්මක වගවීම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා කියලා අපි සහතික වෙනවා.”

Author

Related Posts