මාව තියං ඉන්නේ ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි තිහක් දුන්නැති නිසා! – නදුන් චින්තක

තමාව තංගල්ල බන්ධනාගාරයේ තබාගෙන සිටින්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට කෝටි තිහක් නොදුන් නිසා බව නදුන් චින්තක පැවසීය.

ඒ අද කොළඹ මහාධිකරණයට ඔහුව රැගෙන ආ අවස්ථාවේ මාධ්‍යවලට අදහස් දක්වමිනි.

‘කෝටියක් විතර වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ ටිරාන් අලස්ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි තිහක් දුන්නෙ නැති එකට.‘ යනුවෙන් ඔහු කීය.

මේ අතර තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නැමැත්තාට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරු විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බව කියා සිටියේය. 

තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණියද  ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව බවත් වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා යම් පුද්ගලයකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිටියේය.

ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න  මහතා අධිකරණය හමුවේ  කරුණු දක්වමින් තම සේවා දායකයා වසර ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බව පැවසුවා. 

ඔහු වෙනුවෙන් ඉදිරියේදී ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එය සලකා බැලීමට අධිකරණයට අභිමතයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නා. 

ඉන් අනතුරුව නඩුව ලබන 28 වන දා කැඳවීමට නියම වුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ‘හරක් කටා’ නමැති විත්තිකරු පලායාමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 22ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

Author

Related Posts