කොළඹ ගැන සාගල කතාකරයි! කොළඹ නගරාධිපතිකම හයිජැක් කර බෙදාගන්න සාකච්ඡා!

එක්සත් ජාතික පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ මහ නගර සභාවේ සිදු කළ කාර්යක්ෂම සේවය දිගටම පවත්වා ගෙන යෑම සඳහා එහි බලය පිහිටු වීමට විපක්ෂයේ වැඩි ඡන්ද ලබාගත් පක්ෂය සමඟ එකඟතාවකින් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පවසනවා.

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ ඉහළම නායකයන් කොළඹ නගර සභාවේ බලය කෙසේ හෝ අත්පත් කරගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වෙනත් ආරංචිමාර්ග පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන දෙපාර්ශ්වයම නගරාධිපති ධුරය ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා. එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, වසර දෙක බැගින් නගරාධිපති ධුරය බෙදාගැනීමට සාකච්ඡා කර ඇති බවද ආරංචිමාර්ග පවසනවා.

කෙසේ වෙතත් මෙයට ප්‍රතිචාර ලෙස ජාතික ජන බලවේගයද තමන්ට සහයෝගය දැක්වීම සඳහා ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.

මේ වන විට විපක්ෂයේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රභා ගනේෂන් සහ චම්පික රණවක පාර්ශ්වයන් එක් වීමට කැමැත්ත පළ කර තිබෙන අතර ඔවුන්ට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන මන්ත්‍රී සංඛ්‍යාවක් තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශ්වයන් කිහිපයක සහයෝගය ලබාගැනීමටයි මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ.

නීතිය අනුව ජාතික ජන බලවේගයට නගරාධිපති පත් කිරීමට නොහැකියි. ඒ අනුව නගරාධිපති අපේක්ෂකයන් අතරින් කෙනෙකු තෝරාගැනීමට පළමු සභාවාරයේදී රහස් ඡන්දයක් පැවැත්විය හැකියි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සාගල රත්නයක අප පෙර සඳහන් කළ අදහස් දැක්වීම කර තිබුණේ එවැනි පසුබිමක.

බලය පිහිටුවීමට සන්ධානගත වීමක් සිදු නොකරන බවට පැවසූ සාගල රත්නායක මහතා සියලු දෙනා එකඟතාවකින් සහයෝගයෙන් බලය පිහිටු වන බව කියා තිබුණා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා :

“ජනතාවට බොරු නොකර වැඩ කරන පාලනයක් ලබාදීම සඳහා විපක්ෂයට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ඇති ආයතනවල බලය පිහිටු වීමට එක්සත් ජාතික පක්ෂය එම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡාවල නිරත වී සිටිනවා.අප පක්ෂය දීර්ඝ කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය දරමින් සිදු කළ ඒ කාර්යක්ෂම විශිෂ්ට සේවය දිගටම පවත්වා ගෙන යෑම සඳහා කටයුතු කරනවා.

බලය පිහිටුවීම සඳහා අප සන්ධානගත වීමක් සිදු කරන්නේ නැහැ. සියලු දෙනා එකඟතාවකින් සහයෝගයෙන් බලය පිහිටු වනවා. එසේ කටයුතු කිරීමේදී කවුරු කාට සහයෝගය ලබා දෙනවා ද යන්න නොව වැදගත් වෙන්නේ ජනතාවට සේවය කිරීමයි. සමගි ජන බලවේගයත්, අපත්, අපට වඩා ආසන ලබාගත් විපක්ෂයේ අනෙක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සාකච්ඡා කරන්නේ බලය පිහිටුවීම ගැනයි. අප නගරාධිපති ධුරය සඳහා ඉල්ලීමක් කර නැහැ.

මැතිවරණයට පෙර එකතු වී තරග කරන්න අප උත්සහ කළා. එහිදී සමගි ජන බලවේගය පැවසුවේ එරාන් වික්‍රමරත්න මහතා කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස නම් කර එයට සහයෝගය ලබා දෙන ලෙසයි. එය සාර්ථක කරගන්න බැරි වුණා. නගරාධිපතිවරයා ලෙස නම් කරන තැනැත්තා හැමෝටම පිළිගත හැකි අයෙක් විය යුතුයි. විපක්ෂයේ වැඩිපුර ඡන්ද ගත් පක්ෂය හැමටම පිළිගත හැකි අයකුගේ නමක් යෝජනා කළොත් ඒ සඳහා විපක්ෂයේ අනෙක් කණ්ඩායම් සහයෝගය ලබා දේවි. මෙතැනදි සිදු වන්නේ කාටවත් සහයෝගය දීම නොව ජනතාවට සේවය කිරීමයි”

Author

Related Posts