කෙහෙළිය අත්අඩංගුවට ගනිද්දි, ආරක්ෂාවට ගජමුතුවක් හා ශ්‍රී මහා බෝධියේ දැවමය කොටසක් තියන් ඉදලා

රජයට රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැලිකඩ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේදී ඔහු සතුව තිබී ගජමුතුවක් 1 සහ ශ්‍රී මහා බෝධියේ බව කියන දැවමය කොටසක් බන්ධනාගාර බුද්ධි නිලධාරින් විසින් ඊයේ (07) රාත්‍රියේ සොයාගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන බව “ලංකාදීප” පුවත්පත වාර්තා කරනවා.

එය බන්ධනාගාර බුද්ධි නිලධාරීන් භාරයට ගැනීමත් සමගම අමාත්‍යවරයා කළහකාරි ලෙස හැසිරි ඔහුගේ ආරක්ෂාව සඳහා එය සන්තකයේ තබාගත් බව පවසමින් එය නැවත ඔහු වෙත ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.

ජනමාධ්‍ය පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන් හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ නොයොදා ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවූ බවට හඟවා රජයට රුපියල් ලක්ෂ 800 කට අධික පාඩුවක් සිදු කළැයි අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

හිටපු අමාත්‍යවරයාව බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ප්‍රධාන දොරටුව අබියසදී බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් ඔහු පරික්ෂා කිරීමේදී අතෙහි සඟවා ගෙන සිටි ලේන්සුවක් තුළ ඉතා සූක්ෂම ලෙස ඔතා තිබූ ගජමුතුව සහ ශ්‍රී මහා බෝධියේ පොත්තක් බව කියන දැවමය කොටස හමු වී තිබෙනවා.

වීදුරු බෝලයකට හා සමාන එම ගජමුතුව ජංගම දුරකථනයේ විදුලි පන්දම දැල්වීමේදී රක්ත වර්ණයෙන් බබලන බවද ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

එයින් මද වේලාවකට පමණ පසු වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ නමක් ද සඳහන් කරමින් බුද්ධි ප්‍රධානියකුගේ අවසර මත යැයි පවසමින් හිටපු අමාත්‍යවරයාව හමුවීම සඳහා රාත්‍රී අටට පමණ ඔහුගේ මිණිබිරියක පැමිණ ඇති අතර බන්ධනාගාර නියාමකවරුන් එයට අවසර ලබාදී නැති බව තවදුරටත් සඳහන් වනවා.

Author

Related Posts