අධිකරණයට අපහාස කිරීමේ පනතේ ගැටලු සාකච්ඡා කරන්න කමිටුවක්

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් පවතින ගැටලු ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා පවසනවා.

අද (08) පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අධිකරණය තුළ දුරකථනය නාද වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී මිය ගිය පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විමසූ අවස්ථාවේදීයි.

මෙහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසා සිටියේ අධිකරණයකදී දුරකථනය නාද වීම, නීතිඥවරුන්ට මෙන්ම ඕනෑම අයෙකුට සිදුවිය හැකි යමක් බවයි.

එවැනි හේතුවක් මත පමණක් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමත්, එම පුද්ගලයා බන්ධනාගාරය තුළදී මිය යෑමත් බරපතළ තත්වයක් බවද  ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ඔහු තවදුරටත් අවධාරණය කළේ,  අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත මෙලෙස අවභාවිත කිරීම, පුරවැසියන්ගේ අයිතීන් තර්ජනයට ලක්ව ඇති අතර ඒ  පිළිබඳව වහාම අවශ්‍ය පියවර ගත යුතු බවයි.

මීට ප්‍රතිචාර දක්වමින්, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කරන බවත් නීතීඥ වෘත්තිකයින්ට ඒ වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියා.

Author

Related Posts