හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන 10ක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
මාවර මණ්ඩිය, කිරිබත්ගොඩ, කිරිල්ලවල, මීගමුව, ගම්පහ, කැලණිය, වත්තල ඇතුළු ප්‍රදේශ දහයක් මෙලෙස හදිසියේ වටලා සෝදිසි කර ඇති බව වාර්තා වනවා.
ප්‍රසන්න රණවීර මහතා සෙවීම සඳහා විවිධ වෙස් ගැන්වූ බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ද ප්‍රදේශ කිහිපයකට යොමු කර ඇති බව පොලිසිය පවසනවා.
මේ අතර, පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සොයා ගැනීමටද දිවයින පුරා විවිධ ස්ථාන 200කට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂා කර ඇතත් ඇය ගැනද කිසිදු තොරතුරක් මෙතෙක් අණාවරණය කර ගැනීමට නොහැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පවසනවා.
ඔහු සඳහන් කළේ, එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අදාළ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යන බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය මාර්තු මස 7 වැනිදා සිට අතුරුදන්ව සිටින අතර, පාතාල නායක ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය පසුගිය පෙබරවාරි 19 වැනිදා සිට අතුරුදන්ව සිටිනවා.
ඒ අනුව, ඔවුන් දෙදෙනා අතුරුදන්ව මේ වන විට මාස දෙකකට අධික කාලයක් වනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජලා ද සිල්වා මහත්මිය හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පසුගියදා නියෝගයක් නිකුත් කළා.
ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණිගේ නිවසට ඉකුත් මාර්තු 6 වෙනිදා ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලා ගොස් සිටියා.
