GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක්

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි පවසනවා.

ඔහු මේ පැවසුවේ, මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවති සාකච්ඡාවේදී යි.

අද (30) ජනාධිපති කාර්යාලයේදී ය.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටත් වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවත් චාල්ස් වයිට්ලි සඳහන් කළා.

ඔහු තවදුරටත් පැවසුවේ, GSP+ සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව දිරිගැන්වීම අපේක්ෂා කරන බව ත් මෙම බදු සහනය ලබා දීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ ප්‍රතිපත්ති හා සමානුපාත වන බව ත් ය.

යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවයි.

GSP+ සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර තත්ත්වයක් ඇති කිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇති වීමටත් බලපෑ බවත් ඔහු පවසා තිබුණා.

තවදුරට ත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටීමට පැවති දේශපාලන ක්‍රමය සහ එවක පාලකයන්ගේ නාස්තිය හා දුෂණය හේතු වූ බවයි.

මෙරට යළි විධිමත් පාලනයක් සහිත රටක් බවට පරිවර්තනය කරමින් යන බව ත් ඒ සඳහා යම් කාලයක් ගත වන බව ත් ජනාධිපතිවරයා කියා සිටියා.

Author

Related Posts